නවීන ලිතියම් අයන් බැටරි නිෂ්පාදනය කරන රජයේ සමාගමක් ඇති කිරීමට පියවර

පෙබ 11, 2021
    ලෝකයේ ඉහළම ගුණාත්මක බවින් යුත් ශ්‍රී ලාංකික මිණිරන් (ග්‍රැෆයිට්) භාවිතා කර නවීන ලිතියම් අයන් බැටරි (Lithium - ion Battery) වර්ග නිෂ්පාදනය කරන රජයේ සමාගමක් ඇති කිරීමට පියවර.
    දේශිය විශේෂඥයන්ගේ පර්යේෂණ ප්‍රතිඵල වාණිජකරණය කිරීමට කටයුතු කළ යුතුයි....
    ලෝකයේ ඉහළම ගුණාත්මකබවින් යුත් ශ්‍රී ලාංකික මිණිරන් භාවිතා කර නවීන බැටරි වර්ග නිෂ්පාදනය කරන රජයේ සමාගමක් ඇතිකිරීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
     
    අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
    නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජාතික මූලික අධ්‍යන ආයතනය විසින් නවීන බැටරි වැනි නිෂ්පාදන සඳහා දේශිය මිණිරන් භාවිතා කිරීමේ හැකියාව අනාවරණය කර ගෙන ඇත.
    දේශිය මිණිරන් (ග්‍රැෆයිට්) වලට අගය එකතුකිරීම තුළින් ඉහළ පාරිශුද්ධතාවයකින් සහ ඉහළ විදුලි ධාරිතාවක් ගබඩාකර තබාගැනීමේ හැකියාව ඇති “ග්‍රැෆීන්” නිෂ්පාදනය දැනටමත් SINTEC ආයතනය විසින් සිදුකරනු ලබයි.
    ලෝකයේ වෙනත් රටවල නිෂ්පාදනය කරන ලිතියම් අයන් බැටරි (Lithium - ion Battery)වලට වඩා ඉහළ විදුලි ධාරිතාවක් සහිත බැටරි නිෂ්පාදනයෙන් ලෝක වෙළඳපොළ තුළ වැඩි වෙළඳපොළ ආකර්ශනයක් ලබාගැනීමේ හැකියාව ඇත.
    මේ සඳහා වූ වෙනම රාජ්‍ය සමාගමක් පිහිටුවීමට මෙම සාකච්ඡාවේදී තිරණය කළ අතර සමාගම පිහිටුවීමට අවශ්‍ය ප්‍රාග්ධනය රාජ්‍ය ආයතන හා රජයේ අරමුදල් වලින් ආයෝජනය කිරීමට යෝජනා විය. මෙසේ බිහිකරන සමාගම් ලාභ ලබන තත්ත්වයට පත්කර ඉතා ඉහළ මිලකට අවශ්‍ය නම් දේශීය ආයෝජකයින්ට පවරා දිය හැකියි. ඒ තුළින් දේශිය ආයෝජන වලින් ඉහළ ආදායමක් රජයට ලබාගැනීමට හැකියාව ඇතැයිද මෙහිදී සාකච්ඡා විය.
    තවද ලෝකයේ බැටරි නිෂ්පාදනය කරන කීර්තිනාමය දිනාගෙන ඇති සමාගමකට කොටස් අලෙවිකර ඔවුන්ගේ වෙළඳනාමය භාවිතාකර ලෝකයේ බැටරි වෙළඳපොළ ආකර්ශනය කරගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය.
    නව උත්පාදන හඳුන්වා දෙමින් නිෂ්පාදන අවශ්‍යතාවය සැළසුම් කිරීමේ දී මුලික අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, විශ්ව විද්‍යාල, පතල් හා කැනිම් කාර්යාංශය යන ආයතනයන්හි පවතින තාක්ෂණය හා මානව හා භෞතික සම්පත් යොදා ගනිමින් ඒකබද්ධව ක්‍රියා කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹේපොළ, තාරක බාලසූරිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක්  සහභාගී වූහ.

    Latest News