සාමාන්‍ය පෙළ ඉහළින් සමත් සිසුන්ට "මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව" පිරි නැමේ

පෙබ 12, 2021

    අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල ඊයේ (11) අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අධ්‍යාපන උපදේශක ගෝපාලන් නාරායනන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා, අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී.ධර්මසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

    ශ්‍රේෂ්ඨ නායකයෙක් සහ මානුෂවාදියකු ලෙස ලොව ප්‍රකට මහත්මා ගාන්ධිතුමාගේ ආදර්ශයන් ජීවිතවලට එකතු කරගැනීම ඔහුට කරන ලොකුම ගෞරවය බව, මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය රජය මඟින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන 12 වන වතාවටත් අඛණ්ඩව පැවැත්වීම පිළිබඳ අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ මිත්‍රත්වයේ දෑත දිගුකිරීම සම්බන්ධව. එමෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මේ ප්‍රදානයන් සිදු කිරීම සම්බන්ධව ද සතුට පළ කරන්න කැමතියි.

    මහත්මා ගාන්ධිතුමා සතුව පැවති වැදගත්ම ගුණාංගය තමයි මානුෂවාදය. එතුමා කුලය නිසා, ධනය නිසා, බලය නිසා, සහ වැන්දඹු වීම වැනි තත්ත්වයන් මත අසාධාරණයට පත්වුණු ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන්ට යහපත් සහ ගෞරවාන්විත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් පෙනී සිටියා. එතුමාගේ එම මානුෂීය ගුණාංගයන් ඔබේ ජීවිතවලටත් ආදේශ කර ගන්න”. යැයි ද ප්‍රකාශ කළේය.

    Latest News