"කොවිඩ්-19 පුරවැසි ද්වාරය" අන්තර් ජාල වෙබ් සේවාව ඇරඹේ

මැයි 19, 2021

    "කොවිඩ්-19 පුරවැසි ද්වාරය" අන්තර් ජාල වෙබ් සේවාව අද (19) ආරම්භ කෙරිණ.

    එම සේවාවේ අරමුණ වන්නේ, එන්නත් ලබාගැනීම සඳහා ජනතාවට කල්තියා වේලාවක් වෙන්කර ගැනීමත්, එන්නත් ලබාගත් පුද්ගලයින් සඳහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත් කිරීමත් යන සේවාවන් ද්විත්වයයි.

    යුද හමුදා රෝහල් පරිශ්‍රයේදී වැඩසටහන පැවැත්විණ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික නියෝජිත ආයතනය එක්ව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.

    මේ සේවාව ජනතාව සඳහා ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට නියමිතයි. මෙහි ලියාපදිංචිවීමත් සමඟ එන්නත් ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වේලාවක් ස්වයංක්‍රීයව ජනතාවට ලබාගැනීමේ හැකියාව පවතී.

    එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට ඒ පිළිබඳ විස්තර සහතික කළ "කියුආර් කේතයක්" සහ "ප්‍රතිශක්තිකරණ සහතිකයක්" සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබයි. එන්නත් වර්ගය ඇතුළු තොරතුරු රැසක් එහි අඩංගුයි.

    එය ශ්‍රී ලංකාවට අනන්‍යවූ "කියුආර්" කේතයක්. මෙම සහතිකය අන්තර් ජාලයෙන් බාගත කරගත හැකිය. අනන්‍යතාව තහවුරු කිරීම සිදු වන්නේ, ජංගම දුරකතනය මගින්. මෙය හඳුන්වාදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, යුද හමුදා රෝහල් අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක, තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News