ලොහාන් රත්වත්තේ මහතාට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර

ඔක් 21, 2021

    මෑතකදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි දමිළ සිරකරුවන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබාගෙන නිසි විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළා.

    අමාත්‍යවරයා වෙතින් තර්ජනයට ලක් වූ බව කියන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ රැඳවියන් 8 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළා.

    මෙම පෙත්සම අද ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුනා.

    එමෙන්ම පෙත්සම්කරුවන්ගේ ආරක්ෂාව තකා ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත් කොට වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළා.

    මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත නොතිසි ද නිකුත් කරනු ලැබුවා.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාගාර නීති රෙගුලාසි වලට අනුව බන්ධනාගාර නිලධාරියෙකුට පවා ගිනි අවි සහිතව බන්ධනාගාරය තුළට ඇතුළුවීම තහනම් බව පෙන්වා දුන්නා.

    එසේ ගිණි අවි බන්ධනාගාරය තුළට රැගෙන යාමට නම් ඒ සඳහා නිසි නීතිමය පටිපාටිය අනුගමනය කළ යුතු බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

    එවැනි නීතිමය පසුබිමක් තිබියදී බන්ධනාගාර විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ලොහාන් රත්වත්තේ මහතා සිය ගිනි අවිය ද රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළුවී එහි සිටි පෙත්සම්කාර රැඳවියන්ට තර්ජනය කිරීම බරපතළ වරදක් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිරකරුවන්ගේ ඥාතීන් වෙත තමා කනගාටුව පළ කරන බව වගඋත්තරකාර අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සිහිපත් කළා.

    ඒ අනුව තම සේවාදායකයින්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබෙන හෙයින් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත් කොට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඕනෑම බන්ධනාගාරයක රඳවා තබන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් අතරෙන් දෙදෙනෙකු කොළඹ බන්ධනාගාරය වෙත මාරු වී යාමට කැමැත්ත පළ කර ඇති බව සඳහන් කළා.

    කෙසේ වෙතත් ආරක්ෂක හේතූන් මත මෙම සැකකරුවන් යාපනය බන්ධනාගාරයට මාරු නොකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බවත් මෙම සැකකරුවන් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රැඳවියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එය පෙබරවාරි මස 15 වනදා යළි කැඳවීමට ද නියෝග කළා.

    Latest News