සම්බා සහල් කිලෝව අද (29) සිට රු.128ට සතොසින්.....

ජන 29, 2022

    රුපියල් 130ට අලෙවි කළ සම්බා සහල් කිලෝවක් අද (29) සිට සතොස වෙළෙඳසැල් මගින් රුපියල් 128කට අලෙවි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, ආනයනික සහල් විශාල තොගයක් වරායට ලැබී ඇති බැවින්, ඒවා නිදහස් කර ගැනීමෙන් පසු ඉදිරියේදී මිල තවත් පහළ යනු ඇති බවයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවේ සහල් වෙළෙඳසැල්වල පවත්නා තොග පිළිබඳ නිරීක්‍ෂණයකට අද එක්වෙමින්. මෙරට සහල් මාෆියාව සුපිරි වෙළෙඳසැල් ජාලවල ප්‍රචාරණ කටයුතු ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සිදු කරමින් තවදුරටත් සහල් කිලෝවක් රුපියල් 160 ඉක්මවා යන මිල ගණන් ප්‍රචාරය කරන බව, අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    ඔවුන් අප්‍රේල් මාසය වනවිට සහල් කිලෝවක් රුපියල් 300කට පමණ අලෙවි වනු ඇති බවට පාරිභෝගිකයා තුළ විවිධ මතවාද ඇති කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙවැනි පසුබිමක පාරිභෝගිකයා සූරාකන එවවැනි අලෙවිසැල් තෝරා ගන්නේ ද නැතහොත් ගුණාත්මක භාවය තහවුරු කර ගනිමින් අඩු මිල ගණන් යටතේ සහල් අලෙවි කෙරෙන වෙළෙඳ සැල් තෝරා ගන්නේ ද යන්න පාරිභෝගිකයා විසින් තීරණය කළ යුතු බවයි. ව්‍යාපාරික ප්‍රජාවට සහල් සතොස මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට පිටකොටුව තොග වෙළඳ හුවමාරුවෙන් මිලදී ගත හැකි බව ද අමාත්‍යවරයා කියා සිටියා

    Latest News