ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධාන කිරීමට ජපානය සූදානම්වේ... 

අගෝ 26, 2022

    ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධාන කිරීමට සූදානම් බව ජපානය පවසනවා. 

    ඒ, වත්මන් ආර්ථික අර්බුදය නිරාකරනය සඳහා ශ්‍රී ලංකාවට සහය වීමේ අපේක්ෂාවෙන්.  අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් අයි එම් එෆ් සංවිධානයේ ණය පහසුකම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැනට ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි.  එම ක්‍රියාවලියට සහය දැක්වීමට ජපානය අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය අද නිවේදනය කළා. 

    මේ සම්බන්ධයෙන් මූලික මට්ටමේ සාකච්ඡා අන්තර්ජාතික වශයෙන් සිදු කෙරෙන බවයි රොයිටර් වාර්තාව පෙන්වා දෙන්නේ.  කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියා වන චීනය, එවැනි සමුළුවකට සහභාගි වීම පිළිබඳව මේ දක්වා පැහැදිලි ප්‍රකාශයක් කළ නොහැකි බවයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරන්නේ.  ශ්‍රී ලංකාවට ණය සහන ලබාදීම සඳහා පැවැත්වෙන සමුළුවක සභාපතිත්වය දැරීමටත්, චීනයේ සහභාගිත්වය සමග එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමටද ජපානය කැමැත්ත පළ කරනවා.  පසුගිය සතියේ අන්තර්ජාතික මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සාකච්ඡා පැවැත්වීමට මැදිහත් වන්නැයි ජපානයෙන් ඉල්ලීමක් කළා. 

    Latest News