ආර්ථික අවදානමට ලක්වන අය කෙරෙහි අවධානය යොමු කරන්න; අගමැති

අගෝ 28, 2022

    මෙරට ආර්ථික වශයෙන් අවදානමට ලක්වන කණ්ඩායම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    ඒ, දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස සමග පැවති සාකච්ඡාවකදී.
    සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. අත්‍යවශ්‍ය නොවන ආනයන අඩුකිරීමට හා අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සමාජයේ දිළිඳුතම කොටස් සඳහා සුභ සාධන ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර, අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළා.

    IMF සාකච්ඡා මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේ, තම පිරිස රජය, විපක්ෂය සහ අනෙකුත් පාර්ශවයන් සමග සාකච්ඡා කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලය වෙත කරුණු වාර්තා කරන බවයි. අගමැතිතුමා පෙන්වා දුන් පරිදි ණය ප්‍රති ව්‍යුහගත කිරීම සහ ආර්ථික පුනර්ජීවනය අතිකිරීම සඳහා සැලසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමකට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය මසාහිරෝ නොසාකි සඳහන් කළා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News