ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

ජූලි 04, 2024

    වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

    අදාල වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගර පතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

    ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් තීන්දුවේ සඳහන් වුණා.

    ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය අගෝස්තු මස 28 වනදා කැඳවීමට ද නියම වුණා.

    වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ආගර පතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබුණා.

    ඒ පිළිබඳව විභාගයක් සිදුකළ අභියාචනාදීකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙමින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කළ නමුත් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළේ නැහැ.

    අභියාචනාදීකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් කම්කරු අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා..

    #SLRC #RupavahiniNews #Rupavahini

    Latest News