ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනා තවදුරටත් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරුවන් skype තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා..
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම බීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 47 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළා.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරීය අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බවයි ඔවුන් කියා සිටියේ.
මෙම සිද්ධියට සම්බන්ධ ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අමතරව මෙම විමර්ශන වලට අවශ්‍ය කරන බැංකු වාර්තාවක් පෞද්ගලික බැංකුවකින් ලබා ගැනීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.
මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාල නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දුන් අතර පෞද්ගලික බැංකුවකින් බැංකු වාර්තාවක් ලබා ගැනීමටද පොලිසියට අවසර ලබා දුන්නා.
මෙහිදී ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබූ බව කියන මේ වන විට පොලිසිය භාරයේ පසුවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත් අඩංගුවේ පසුවන සැකකරුවන් පිටස්තර ස්ථානවලට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් මෑතකදී පොලිස්පතිවරයාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති බව සඳහන් කළා.
එම මාර්ගෝපදේශය අනුව රැඳවුම් භාරයේ පසුවන යම් සැකකරුවකු පිටස්තර ස්ථානයකට රැගෙන යන්නේ නම් අධිකරණය දැනුවත් කළ යුතු බවට දක්වා ඇති බවත් විමර්ශන කටයුත්තක් සඳහා යම් සැකකරුවකු පිටතට රැගෙන යන විට එය පොලිස් නිලධාරීන් විසින් වීඩියෝ ගත කළ යුතු බවට එම මාර්ගෝපදේශවල සදහන්ව තිබෙන බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
එබැවින් තම සේවා දායකයා විමර්ශන කටයුතු සඳහා රැගෙන යන්නේ නම් එම මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට පොලිසිය වග බලා ගත යුතු බවත් ඔහු අවධාරණය කළා.
එමෙන්ම තම සේවාදායකයා සහකාර පොලිස් අධිකාරිවරයෙකු භාරයේ පසු විය යුතු බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.
මෙම නීතිමය අවශ්‍යතාවයන්ට අනුව පොලිසිය කටයුතු කරන්නේ නම් එය ප්‍රමාණවත් බවත් නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කර සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 09 දෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රියදුරු හමුවීමට ඔහුගේ බිරිඳට අවස්ථාව සලසා දෙන ලෙසත් පොලිසියට අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
මෙම සිද්ධියට සම්බන්ධ වෙඩි තැබූ බව කියන සැකකරු සහ රියදුරකු මේ වන විට රැඳවුම් නියෝගය යටතේ වරාය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් වැඩිදුරටත් දන්වා සිටියා