සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරීමට නියෝග

මාර් 13, 2020

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට නියම කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාල සීමාවේ අයථා ලෙස රුපියල් කෝටි 30 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබිණ.

    එම නඩුවේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉකුත්දා නියෝග කළේය.

    එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වන හෙයින් ප්‍රචාරක කටයුතු ද ආරම්භ වීමට නියමිත නිසා ඔහු රිමාන්ඩ් භාරයේ පසුවූවොත් ඔහුට දැඩි අගතියක් සිදුවිය හැකි බව දන්වා සිටියේය.

    එම නිසා ඔහු ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදාහරින ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර මින් මතුවට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස තරයේ අවවාද කළේය.

    මේ අතර නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේ දී සාක්ෂි දෙමින් සිටී ප්‍රසාද් දිමුතු කුමාර නැමැති සාක්ෂිකරු හදිසියේ ක්ලාන්ත වීම නිසා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 17 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

    එහිදී අදාළ සාක්ෂිකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම සාක්ෂිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත වී ඇති බව ප්‍රකාශ කරන හෙයින් ඔහු රුපියල් ලක්ෂ 10ක බැඳුම්කරයක් අත්සන් කිරීමෙන් පසුව මුදා හරින මෙන් ද නියෝග කළේය.

    Latest News