රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට නොතීසි

අගෝ 19, 2020

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රවුෆ් හකීම් යන මහත්වරුන්ට එළඹෙන සැප්තැම්බර් 7 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ (18) සිතාසි නිකුත් කර තිබේ.

    එම පිරිස අතරට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරු ද ඇතුළත්ය.

    මේ අතර, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, හමුදා නිලධාරීන් පිරිසකට මත්පැන් ලබාදී සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළ බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් දේශපාලන කොමිසම හමුවේ ඊයේ සිදු කෙරිණ.

    දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම හමුවට ඊයේ කැඳවා තිබුණේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු දෙවන අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතාය.

    ඔහු පැවසුවේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් 2015 අගොස්තු 24 වැනිදා අත්අඩංගුවට පත්වූ බවය.

    එදින තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් එවක සහකාර පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා හමුවට ඉදිරිපත් කළ බව සාක්ෂිකරු පවසා තිබේ.

    එහිදී ” එක්නැලිගොඩ මහත්තයා අතුරුදන් වීම ගැන අපට තොරතුරු අනාවරණ වුණා.

    ආරක්ෂක ලේකම් ගෝඨාභය මහත්තයාගේ අණ පරිදි ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ශම්මි කුමාරරත්න මේක කළා කියලා කියන්න.

    එහෙම කිව්වොත් ඔයාට ගැලවිලා යන්න පුලුවන්.” යැයි ශානි අබේසේකර මහතා තමාට පැවසු බව සාක්ෂිකරු කියා සිටියේය.

    නමුත් මෙම සිදුවීම වන කාලවකවානුව තුළ කුකුලේ ගඟ සාම සාධක පුහුණු පාසලේ නේවාසිකව පාඨමාලාවක් හදාරමින් සිටි බැවින් තමා ගිරිතලේ කඳවුරේ නොසිටිය නිසා එසේ ප්‍රකාශ කළ නොහැකි යැයි දැනුම් දුන් බව සාක්ෂිකරු පවසා ඇත.

    Latest News