ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි

ඔක් 06, 2020

    ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

    එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය ද තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම කාලසීමාව තුළ සියලු දෙනා නිවෙස්වල රැඳී සිටිය යුතු බව පොලිසිය අවධාරණය කරයි.

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ අදාළ ප්‍රදේශ වෙත ඇතුළුවීම සහ එම ප්‍රදේශවලින් පිටවීම මුළුමණින්ම තහනම්. දුර ගමන් සේවා මගී ප්‍රවාහන බස් රථවලට අදාළ ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වුවද, එම ප්‍රදේශයන්හි බස් රථ නතර කිරීම, මගීන් නංවා ගැනීම හා බැස්සවීම නොකළ යුතුයි.

    යාගොඩ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල සියළු දුම්රිය හෙට සිට නොනවත්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, යාගොඩ, ගම්පහ, දාරලුව, බෙම්මුල්ල, මගලෙගොඩ, හීන්දෙණිය, පට්ටිගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වන බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පිහිටා ඇති කර්මාන්තශාලාවල සේවක-සේවිකාවන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම රැඳී සිටිය යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

    කර්මාන්ත ශාලාවල කළමනාකාරීත්වය සේවක-සේවිකාවන්, ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත්කර හැරීමෙන් වැළකිය යුතු බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය සඳහන්.

    මේ අතර කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමත් සමඟ සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවලපිටිය සහ හපුගස්තලාව යන ප්‍රදේශවලදී අද පැවැත්විණ. එහිදී දැනුවත් කෙරුණේ, එම ප්‍රදේශවල ව්‍යාපාරික ප්‍රජාව සහ ත්‍රී රෝද රථ රියැදුරන්.

    ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටනක් මහනුවර නගරයේ සංවිධාන කර තිබිණ. ඒ, මහනුවර පොලිස් ස්ථානයේ සහභාගිත්වයෙන්. නගරයේ ඇති සියළුම ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් ජනතාව සහ පදිකයන් දැනුවත් කරනු ලැබීය.

    Latest News