ආණ්ඩු පෙරළිය දක්වා පොතක් වුනත් ලියන්න පුළුවන්; හිටපු අගමැති

ඔක් 06, 2020

    2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින ඇතිවු ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සලයට නොකැදවු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පළමු වරට සාක්ෂි ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ 2015 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත්කර ගැනීමේ සිට 2018 ඔක්තෝම්බර් මස සිදුවු ආණ්ඩු පෙරළිය දක්වා වූ කාලයේ සිදුවූ සිදුවීම් පිළිබද තමන්ට ග්‍රන්ථයක් වුවද රචනා කළ හැකි බවයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10 ට පමණ සාක්ෂි ලබාදීම සදහා මුල්වරට ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

    එහිදි සාක්ෂි විමසීම ආරම්භ වීමට පෙර කොමිසම් සභාවේ තෝල්කවරයා ඔබේ වර්තමාන තනතුරු කුමක්ද යැයි හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ " දැන් ඉතිං අධිනීතිඥයෙක් තමයි යනුවෙන්.

    පසුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂි විමසීම ආරම්භ කරමින් විමසා සිටියේ තිස් වසරක යුධ සමයේ ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය සමග එළඹි සටන් විරාම ගිවිසුම් තුළින් එවකට ආණ්ඩුව අපෙක්ෂා කළ අරමුණු ඉටු වුයේදැයි ප්‍රශ්න කළ සිටියා.

    එයට පිළිතුරුදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ,

    "2001 වර්ෂය වෙද්දි අපේ යුද හමුදාව යාපනය වෙනකල් පසුබැහැලා තිබ්බේ. ඒ නිසා හමුදාව පුහුණු කරගන්නයි සටන් විරාමයකට ගියේ. එතනදි තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර බලය අඩු වුණේ. එදා එහෙම නොකළා නම් පසුව පැමිණි රජයකටවත් දෙමළ ත්‍රස්තවාදය මර්ධනය කිරිමට බැරිවෙනවා" යනුවෙන් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2003 වර්ෂය වන විට නැගෙනහිර අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඔළුවිල් ප්‍රකාශය තුළින් නැග ආ මෙරට මුස්ලීම් ජනතාවට වෙනම භූමියක් අවශ්‍ය යැයි වු නවමු ගිනිදැල්ලක් පිළිබදව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූයේද යන්නයි.

    "ඔය ඉල්ලීම ඉදිරිපත් වුනේ ඉස්සෙල්ලාම ඔළුවිල් ප්‍රකාශයෙන් නෙමේ. මුස්ලීම් කොංග්‍රසය ආරම්භ කළ අෂ්රෆ් මැතිතුමාගේ කාලයේ ඉදලම ඔය ඉල්ලීම තිබ්බා." යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නා.

    "ඔබ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි ඔළුවිල් ප්‍රකාශය ඉදිරිපත් කරන සමයේ එයට සහභාගි වු මන්ත්‍රීවරුන් කව්දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රවුෆ් හකීම් මහතා සහභාගි වූ බවට තමන්ට නිශ්චිත මතකයක් නැති නමුත් ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය පක්ෂයක් හැටියට එයට සම්බන්ධ වූ බව තම මතකයේ ඇති බවයි.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ මෙරට කිසියම් දේශපාලන පක්ෂයකට මැතිවරණයක් ජය ගැනීමට නම් රටේ බහුතර ජාතිය වන සිංහල ජාතිකයන්ගේ ඡන්ද මෙන්ම සිංහල නොවන ජාතිකයන්ගේ ඡන්ද ද අවශ්‍ය වනවා නොවේද යන්නයි.

    එයට පිළිතුරු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, "මේ රටේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට 51% ක ඡන්ද ප්‍රතිශතයක් ඕනේ. ඉතින් එකට සිංහල, දෙමළ, මුස්ලීම්, බර්ගර් කියන සෑම ජාතියකම සම්මිශ්‍රණයක් තියෙන්න ඕනේ. චන්ද්‍රිකා දින්නෙත් මුස්ලීම් ඡන්ද වලින් නිදහසින් පස්සේ මුස්ලීම්, දෙමළ ඡන්දවලින් කොටසක් එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි සතුව පැවතියා. නමුත් 1970 න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුස්ලීම් ඡන්ද ප්‍රතිශතය නැති වුණා. එකෙන් තමයි මුස්ලීම් කොංග්‍රසය හැදුනේ. නමුත් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ පක්ෂයේ ඉහළම තනතුරුවලින් එකක් සෑම වෙලේම මුස්ලීම් ජාතිකයන්ට ලබාදෙනවා. ආනන්ද සමරකෝන් මහතා ලියපු එක මවකගේ දරුවෝ කියන අපේ ජාතික ගීයත් එතුමාගෙන් ඩි.එස් සේනානායක මහතා ගත්තු එකක්. "යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එකම පවුලක් ලෙස හිටපු තැන්වලත් ගැටුම් ඇතිවෙනවා නේදැයි විමසමින් 2018 ඔක්තෝම්බර් 26 ඇතිවු ආණ්ඩු පෙරළිය පිළිබද හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසුවා.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ,

    "මොන පවුලෙද ප්‍රශ්න නැත්තේ, 2018 ඔක්තෝම්බර් 26 ජනාධිපති මෛත්‍රී තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. එයා හිතුවේ එයාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔක්තෝම්බර් 26 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සලයට මාව කැදෙව්වේ නැහැ. කොහොම හරි දින 52 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් මම අහලා බැලුවා එතුමාට එන්න කිව්වද ආරක්ෂක කවුන්සලයට කියලා. ඔහුට එන්න කියලා දන්වලා තිබ්බෙත් නැහැ" යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ "හිටපු ජනාධිපතිවරයා මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින්' මගේ රජයක් තිබ්බේ මාස 06 යි. එතනින් එහාට මට රජය කරගෙන යන්න පාර්ලිමේන්තුවේ සහය ලැබුනේ නැහැ' යැයි පවසා ඇත්නම් ඔබ ඒ ගැන කුමන අදහසක් දරන්නේද යන්නයි.

    එයට පිළිතුරුදෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, "මෛත්‍රීපාල සිරිසේන කියන්නේ පොදු අපෙක්ෂකයෙක්. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්නයි අපි පොදු අපේක්ෂයෙක් ගෙනාවේ. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග වගේ අපි හැමෝම එකම මතයක හිටියා ඉස්සෙල්ලාම එකතු වෙලා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා පස්සේ ආපසු වෙන වෙනම මැතිවරණයට යන්න. මමයි පොදු අපේක්ෂකයා වෙන්න මෛත්‍රීපාල සිරිසේනට ගිහින් කතා කළේ. පොදු අපේක්ෂකයා විදිහට ආපු කෙනා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තා. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විදිහට ආපු කෙනා පක්ෂග්‍රාහී වුණා. මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ පවා දොස් කිව්වා." යනුවෙන් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නා.

    එහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙරළා ප්‍රශ්න කළේ "ඔක්තෝම්බර් 26 ආණ්ඩු පෙරළියට හේතු වුයේ ඔබ ඔය කියන සිදුවීමද, නැතහොත් එක්සත් ජාතික පක්ෂය එවකට ජනාධිපතිධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතාට නිසි සහයෝගය ලබා නොදීමද යන්නයි.

    එහිදි මද සිනාහවක් පෑ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

    "හිටපු ජනාධිපතිවරයාට කිසිම දවසක හොද ඡන්ද පදනමක් තිබුනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පුර්ණ පක්ෂපාතිත්වයවත් තිබුනේ නැහැ. මමයි එතුමාට අනිත් පාර්ශවවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමියත් ප්‍රශ්න අහන්නේ ඒ පැත්තෙම ඉදන්. ඉන්න ඒ කතා ඔක්කෝම දවසක මම සම්පුර්ණෙන් පොතක ලියන්නම්" යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නැගු පැනයට පිළිතුරු ලබාදුන්නා.

    මෙම සිදුවීමෙන් පසු හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා මේ වන විට යම් සෞඛ්‍යම අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුගේ සාක්ෂි විමසීම අද දිනට අවසන් කර වෙනත් දිනයක් ලබාදෙන ලෙස් ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළා.

    ඒ පිළිබද සලකා බැලු ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරුවරයා අද දිනට හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කළ අතර නැවතත් එළඹෙන 13 වන දින සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නා.

    ඒ අනුව පැය එකහාමාරකට ආසන්න කාලයක් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 11.30ට පමණ ජනාධිපති කොමිසමෙන් පිටව ගියා.

    ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කළා.

    Latest News