රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

ඔක් 10, 2020

    රියාජ් බදියුදීන් අත්තනෝමතික අයුරින් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිතුමාගෙන් පරීක්‍ෂණයක් ඉල්ලා සිටී. ලිපියක් යොමු කරමින් මන්ත්‍රී කණ්ඩායම එය පෙන්වා දෙන්නේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ මෙම අත්තනෝමතික ක්‍රියාව පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවයි.

    පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයට අනුබල දීම මත සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ ඉකුත් අප්‍රේල් 14 වැනි දිනයි.

    ඒ සම්බන්ධයෙන් අප්‍රේල් 15 වැනි දින එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, රියාජ් බදියුදීන් බෝම්බකරුවෙක් සමඟ සෘජුවම සබඳතා පවත්වා ඇති අතර, ප්‍රහාරයට ආසන්න දිනයකදී ප්‍රසිද්ධ හෝටලයකදී හමුවී සාකච්ජා පවත්වා තිබෙන බව ද හෙළිවී ඇති බවයි.

    එමෙන්ම, එවකට යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළේ, සහරාන් හෂිම්ට බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙක් උපකාර කළ බවට යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබූ බවයි.

    මෙවන් ප්‍රබල සාක්‍ෂි අනාවරණ වී තිබියදී ඉකුත් සැප්තැම්බර් 30 වැනි දින රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් නොකර කිසිදු නෛතික අවසරයකින් තොරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරනු ලැබූ බව, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දෙයි.

    එබැවින්, මේ පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා ත්‍රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදීන් නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මන්ත්‍රී කන්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටී.

    මේ අතර, රියාද් බදියුදීන් පරීක්‍ෂණයක් පවත්වා ඔහුව නැවත අත්අඩංගුවට ගන්නා ලෙසට පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට බාරදී තිබේ. ඒ පිවිතුරු හෙළ උරුමය විසින්.

    Last modified on සෙනසුරාදා, 10 ඔක්තෝබර් 2020 11:40

    Latest News