දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන්

නොවැ 06, 2020

    දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වෙනි ගුණ සමරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) තංගල්ල, ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී පැවැත්විණි.

    අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, සීමිත සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් හා ඉතාමත් චාම් ආකාරයෙන් පැවැත්විණි.

    තංගල්ල පොලොම්මාරුව පුරාණ වනවාසී, පූජ්‍ය මණ්ඩාඩුවේ ධීරාණන්ද නාහිමියෝ මෙහිදී ආගමික වතාවත් සිදුකළ අතර, පූජ්‍ය මිරිස්සේ ධම්මවංශ නාහිමියෝ බෞද්ධ අනුශාසනාව පැවැත්වූහ.

    අනතුරුව දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පිළිරුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන් සහ ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයෝ පුෂ්පෝහාර දැක්වූහ.

    දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා හා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක මහත්වරු ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පිළිරුවට කුරහන් මල් මාලයක් පැළැඳවූහ.

    ගුණ සමරුවට එක්ව සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්වරු දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීමට එක්වූහ.

    Latest News