බදු නොගෙවන ආයතන ප්‍රසිද්ධ කිරීමට පියවර

ජන 07, 2021

    විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණයවී තිබේ.

    එලෙස බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    අයකර ගත හැකි බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගතයුතු බවත්, එමගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත් විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා කාරක සභාවේදී කීවේය.

    දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇති බවත්, ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.

    හිඟ බදු නීතිය කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්. එම්. සී. බණ්ඩාර මහතා කාරක සභාවේදී මතුකළ අතර, ඊට අදාළ යෝජනා වහාම ලබා දෙන මෙන් සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව එම කාරක සභා රැස්වීමේදී සාකච්ජා විය.

    Latest News