වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගිනි අවි ලබා දීම විසඳුමක් නොවෙයි - මහින්ද අමරවීර

පෙබ 21, 2021

    වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගිනි අවි ලබාදීම විසඳුමක් නොවෙයි.

    නව විද්‍යාත්මක හා සාම්ප්‍රධායික ක්‍රම පිළීබඳව නිසි අධ්‍යයනයක් අදාල විෂයබාර ආයතන විසින් සිදු කළ යුතුව  ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අප රටේ ගොවීන් විසින් වගා කරන භෝගවලින් සියයට 40ක් පමණ වාර්ෂිකව  වනසතුන් විසින් විනාශ කරන බව හෙළිවී තිබේ.

    වගාවන්ට හානි කරන සතුන් අතර රිළවා, වඳුරා, මොනරා , වල් ඌරා හා දඩුලේණා මෙන්ම ඉත්තෑවා ද ප්‍රධාන වේ.

    මෙම සතුන්ගෙන් වගා හානි වළක්වා ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට වඩා වගා කරන ගොවීන් වෙත ගිනි අවි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත්දැයි යන්න සම්බන්ධව පසුගියදා මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ලැබීය.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා අප රටේ වගාකරන භෝගවලින් සියයට 40ක් පමණ වනසතුන් විනාශ කරන බව තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වු බව කීය. එමෙන්ම එවකටත් ගොවි ජනතාව වායු රයිපල් හෝ පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් තමන් ඒ සඳහා පියවර නොගත් බව සඳහන් කළේය.

    වනසතුන් මරා දමනවාට වඩා ඔවුන්ගේ බෝවීම අඩු කළ හැකි ක්‍රම  හා  ඔවුන් පළවා හැරීමට යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රම මෙන්ම විදුලි උපාංග හඳුන්වා දිය හැකියි.

    ඒ වගේම නව තාක්ෂණික උපක්‍රම මෙන්ම සාම්ප්‍රධායික දැනුමත් ඊට යොදා ගත හැකි බවත්, බණ්ඩාරවෙල කහත්තේවෙළ ගොවීන්ට හඳුන්වා දුන් එවැනි විදුලි උපකරණයක් සාර්ථක වු බවත් අමාත්‍යවරයා කීය.

    කහත්තේවෙළ ගොවීන්ගේ වගා හානි එම යන්ත්‍රය භාවිතය මගින් අවම කර ගැනීමට හැකි විය.

    රජය ගොවීන්ට ගිනි අවි ලබා දෙන්නේ ආදල ගොවීන් හෙක්ටෙයාර් එකකට වඩා වගා කර තිබුනොත් පමණයි. එමෙන්ම ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය ඒ සඳහා තිබිය යුතුයි.

    එමෙන්ම මෙම ගිනි අවි ලබා ගෙන කටයුතු කරන ආකාරයත් එම නිලධාරින් විසින් නියාමණය කළ යුතුයි.

    ආයුධයක් ලබා දුන් පමණින් අහිංසක සතුන් මරා දමන්න කාටවත් අවසර දෙන්නේ නැහැ.

    කෙසේ වුවත් මේ ක්‍රමය සාර්ථක විසඳුමක් යැයි මම සිතන්නේ නැහැ. ඇතැම් සතුන්ගේ ගහණය ඉහළයාමට හේතුව විලෝපිතයින් වඳවී යාම, එමෙන්ම  ඉවක් නැතිව කැළෑ එළි පෙහෙළි කිරීම, මිනිස්සු සතුන්ට ජීවත් වීමට තිබෙන ඉඩම්  අල්ලා ගැනීම හා කැළෑ විනාශ කිරීම, ඒ නිසා සිදු විය යුත්තේ අදාළ ආයතන වල නිලධාරින් විසින් නව තාක්ෂණික ක්‍රම අත්හදා බැලීම.

    එවිට සතුන් ගෙන් සිදුවන වගා හානි අවම කර ගත හැකියි. පරිසර ආමත්‍යවරයා වශයෙන් මම දකින්නේ මිනිසාත්, සතුනුත් මෙම පරිසරය තුළ ජීවත් කළ හැකි සමතුලිත වැඩ පිිවෙළක් ක්‍රියාත්මක කිරීම මගින් පමණක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News