කොළඹ වරායට නුදුරු මුහුදේ නෞකාවක ඇතිවූ ගින්න තවදුරටත්....

මැයි 22, 2021

    කොළඹ වරායට නුදුරු මුහුදේ නෞකාවක ඇතිවූ ගින්න තවදුරටත් පවතී.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ ජාත්‍යන්තර ගැලවුම්කාර සමාගමක ටග් යාත්‍රාවක් ගින්න මැඩපැවැත්වීමට යොදවා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.

    ඉන්දියාවේ හසිරා වරායේ සිට කොළඹ වරායට සේන්දු වෙමින් පැවති “එම් වී එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ ගින්නක් හට ගැනුණේ ඉකුත් 20 වැනි දිනයි. ඒ වනවිට කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් උතුරු මුහුදේ එය නැංගුරම් ලා තිබූ බව, නාවික හමුදා ප්‍රකාශ කළේය.

    බහාලුම් ප්‍රවාහන නෞකාවක් වන මෙහි, එක් බහාලුමක අඩංගුව තිබූ නයිට්‍රික් අම්ලය කාන්දුවී, ඒ මතට ජලය වැටීමෙන් විස දුමාරය නිකුත්වීම ආරම්භ වී තිබේ. එතැන් සිට වරාය අධිකාරියේ සහ නාවික හමුදාවේ යාත්‍රා යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගැණින.

    ඊයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් ගින්න මැඩපැවැත්වීමේ රසායනික කුඩු, ගින්න පවතින ස්ථානයට කිහිප වරක් පතිත කරනු ලැබීය. සමූද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය කියා සිටියේ, තම ආයතනය සහ නාවික හමුදාව, වරාය අධිකාරිය හා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඊයේ එම නෞකාව සමීපයට ගොස් සොයා බලා තිබෙන බවයි.

    අද දහවල් වනවිටත්, නෞකාව මත ඇති බහාලුම් අතරින් වරින්වර ගිනි දැල් නිරීක්‍ෂණය විය. ටග් යාත්‍රා කිහිපයක් මගින් සිසිලන ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බව නාවික හමුදාව පවසයි.

    සිදුරල නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් මෙහෙයුමට සහයවීම සඳහා මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගතකර තිබේ.

    Latest News