දිවයිනටම අඛණ්ඩව බල පැවැත්වෙන සංචරණ තහනම තදින් ක්‍රියාත්මකයි

මැයි 22, 2021

    දිවයිනටම අඛණ්ඩව බල පැවැත්වෙන සංචරණ තහනම තදින් ක්‍රියාත්මක බව, පොලිසිය පවසයි.

    එහෙත්, අත්‍යවශ්‍ය සේවා, බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා තිබේ. දිවයිනටම නැවත පනවනු ලැබූ සංචරණ තහනම ලබන 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි. එදින රාත්‍රී 11.00ට සංචරණ තහනම යළි ක්‍රියාත්මක කෙරෙන අතර, එය ලිහිල් කරනු ලබන්නේ, 28 අලුයම 04.00ටයි.

    සංචරණ තහනම කාලසීමාවේ අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඖෂධ සැල් හැර අනෙක් සියලුම වෙළෙඳසල් එම කාලසීමාවේ වසා තැබිය යුතුය. දුම්රිය හෝ පොදු ප්‍රවාහන සේවාද, ක්‍රියාත්මක වන්නේ නැහැ.

    හුදකලා කර නොමැති ප්‍රදේශවල ධීවරයින්ට සිය කර්මාන්තයේ නියැලීමට අවස්ථාව හිමිවේ. මත්ස්‍ය තොග ජංගම රථ මගින් හුදකලා කර ඇති ප්‍රදේශ වෙත බෙදාහැරීමට ද පියවර ගෙන තිබේ.

    මත්ස්‍ය, තොග වෙළෙසල් පමණක් විවෘත කිරීමට අවසර හිමිවන අතර, ධීවර වරායවල පිහිටි මත්ස්‍ය වෙළෙඳසල් ද පවත්වා යා හැකිය. සංචරණ තහනම විධිමත් ලෙස පවත්වා ගෙන යාමට පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

    Latest News