බතික් වෙසක් කූඩුව අගමැතිතුමාට පිළිගන්වයි

මැයි 23, 2021

    කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පළමු “බතික් වෙසක් කූඩුව” පිළිගැන්වීම පසුගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

    බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අගමැතිතුමාට මෙම බතික් වෙසක් කූඩුව පිළිගැන්විය. නිවෙස්වල සිට වෙසක් සමරන බැතිමතුන් සඳහා රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය තුළින් වෙසක් නිර්මාණයන්හි දෘශ්‍ය පෙළහර විඳීමට ඉඩ සැළැස්වීම බතික් වෙසක් දෘශ්‍ය පූජාවේ අරමුණ වී තිබේ.

    වෙසක් සැරසිලි නව්‍ය හා දේශීය මුහුණුවරකට හඳුන්වා දෙමින් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිමවා ඇති මෙම නිර්මාණය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකි. දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඉහළට ඔසවමින් බතික් මෝස්තර සඳහා නව ප්‍රවණතාවක් බිහි කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    නිවෙස්වල සිට වෙසක් මංගල්‍ය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් කළ මෙම නිර්මාණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය. මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමා ද එක්ව සිටියහ.

    Latest News