අසාද් සාලි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ.....

නොවැ 02, 2021

    ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ආරම්භ වුණා.

    එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

    එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් මුසම්මිල් මහතා කියා සිටියේ ඉකුත් මාර්තු මස විත්තිකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් සිදු කළ ප්‍රකාශයක් මගින් ජාතීන් අතර ගැටලුවක් මතු විය හැකි බවට හැඟීමක් තමන් තුළ ඇති වීම හේතුවෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සඳහන් කළා.

    අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී අසාද් සාලි මහතා රටේ නීතිය පිළිනොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ බවත් එම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පැමිණිලි කිරීමට කටයුතු කළ බවද මුසම්මිල් මන්ත්‍රීවරයා සාක්ෂි දෙමින් කියා සිටියා.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නිමල් පියතිස්ස මහතා ද සාක්ෂි ලබා දුන්නා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම මේ මස 09 වනදා තෙක් කල් තැබුණා. අද නඩු විභාගය සඳහා විත්තිකාර අසාත් සාලි මහතා බන්ධනාගාර නිලධාරින් විසින් රෝද පුටුවකින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

    ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් "අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ "හදිසියයි" හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ" යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබේ.

    මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 17:26

    Latest News