වසර 05ක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනයට සැලැසුම්

නොවැ 02, 2021

    මෙරටට අවශ්‍ය ඖෂධ වසර 05 තුළ රට තුළ නිෂ්පාදනය කිරීම සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මෙය අදියර 05 ක් යටතේ 50 % ක් ක්‍රියාත්මක කිරීමටත්, පළමු අවුරුදු 02 සඳහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත්, අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍යවරයා පවසන්නේ, මුල් අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක්ද, දෙවන අදියරට අමෙරිකානු ඩොලර් මිලියන 05 ක්ද, නැවත අමෙරිකානු ඩොලර් මිලියන 10 ක්ද ආදී වශයෙන් මේ සඳහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය. හමුව පැවැත්වුනේ ඊයේ (01) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී.

    මේ වන විටත් ඖෂධ නිෂ්පාදනය සඳහා පියවර ගෙන ඇති බව ද ඒ අනූව සේලයින් නිෂ්පාදනය රට තුළ සිදු කෙරෙන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

    විශේෂයෙන් වෙළඳ කලාප මට්ටමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීම ඉතා ඵලදායී මෙන්ම ලාභදායී බවත්, මේ සඳහා යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමද වඩාත් සාර්ථක වන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ප්‍රකාශ කර සිටියේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ ඖෂධ කර්මාන්ත ආරම්භ කිරීමට එරට ආයෝජකයන්, ඖෂධ කර්මාන්තකරුවන් සූදානම් බවත් එමගින් ඖෂධ වෙළඳපොළ ජයගත හැකි බවයි.

    Latest News