උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් තහනම්

පෙබ 01, 2022

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (01) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

    2021 අ.පො.ස උසස් පෙළ විභාගය ලබන 07 වැනිදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2438ක දී පැවැත්වෙයි. කොවිඩ් රෝගය වැළඳුණු අපේක්ෂකයින්ට දිවයින පුරා රෝහල්වල විශේෂිත විභාග මධ්‍යස්ථාන 29ක් ආරම්භ කර ඇතැයි ද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

    විභාගය පැවැත්වීමට අවශ්‍ය සියළුම පහසුකම් මෙම විභාග මධ්‍යස්ථානයන්හි සමන්විත වෙයි. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශයන්හි විශේෂ සහයෝගය ලැබුනු බවද කොමසාරිස්වරයා සඳහන් කළේය. නිරෝධායනය වන සිසුන් සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂිත කාමරයක් හෝ දෙකක් වෙන් කර ඇත.

    විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්හි ඩෙංගු මර්දන සඳහා ධුමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරින් කටයුතු කරමින් සිටියි. අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අදාළ පාසල් වල විදුහල්පතිවරු විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

    මේ අතර, පසුගියදා පැවති 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඊයේ (31) ආරම්භ කළ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

    දිවයිනපුරා මධ්‍යස්ථාන 40ක මෙම ඇගයීම් කටයුතු සිදුකෙරේ. පෙබරවාරි මස 05 වැනිදා වන විට ඇගයීම් කටයුතු අවසන් කිරීමටත් ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමටත් අපේක්ෂා කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ.

    Latest News