ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පාස්කුදින පණිවුඩය...
කිතුනු බැතිමතුන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානය හෙවත් මරණයෙන් නැඟි සිටීම සිහිකරමින් සැමරෙන පාස්කු මංගල්‍යය වෙනුවෙන් සුබපැතීමට ලත් අවස්ථාව පිළබඳ සතුටු වෙමි.
ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කොට උත්ථානවීම පාස්කුව තුළින් ප්‍රීති ප්‍රමෝදයෙන් සිහිපත් කෙරෙන දිනය පාස්කු ඉරු දින වන අතර, එදිනට පෙර හතළිස් දවසක චතාරික සමයක් ගෙවන කිතුනු බැතිමත්හු උපවාසයේ නිරත වෙමින් ස්වයං පරිත්‍යාගයෙන් නිරාහාරව පසුවෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් ප්රතිපදාවන් පුරති.
ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරමින් විඳි කටුක දුක් වේදනා සිහිකරන කිතුනුවෝ පොදු මිනිස් වර්ගයාට එරෙහිව නැඟෙන හිංසනයට ද පීඩනයට ද එරෙහිව අවිහිංසාවාදීව සිට ගැනීමට උගනිති. එකිනෙකාට එරෙහිව නැඟෙන සියලු ආකාරයේ අවි ආයුධවල කෲර හා අමානුෂික බව හඳුනා ගනිති.
ලෝකය මිනිසුන්ට ජීවත් විය හැකි සාමකාමී නවාතැනක් වන්නේ සියලු ආකාරයේ හිංසනයන් හා පීඩනයන් දුරු වූ කල්හිය. බලය හෝ ධනය වෙනුවෙන් වපුරන හිංසනය බිම් සකසන්නේ මිනිස් වාසයට නොවන බව පැහැදිලිය. පාස්කුව එළැඹෙන්නේ ආදරය, සාමය සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව නැඟී සිටින මිනිස් සමාජයක් පිළිබඳ අපේක්ෂා අප තුළ දල්වමිනි.
සියලු කිතුනු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවායි සුභාශිංසන පිරිනමමි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පාස්කුදින පණිවුඩය...
පුද්ගලයන් මෙන්ම රටක් වශයෙන් ද අභියෝගාත්මක අවස්ථාවන් එළඹි විට ඒවාට මුහුණ දී ජයග්‍රහණය මතින් පොදු ජන යහපත උදා කර ගැනීමට වෙර දැරිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු මංගල්‍යය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.
ලොව පුරා කිතුනු ජනතාව ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහි කරන දින 40ක චතාරික කාලයෙන් පසුව, උන්වහන්සේ මරණය පරාජය කර නැගී සිටීම පාස්කු ඉරුදින සමරනු ලබයි. අපගේ සෑම ජීවිත අභියෝගයකම, අරගලයකම අවසානයේ බලාපොරොත්තුවක් ඇති බව පාස්කුව අපට කියා දෙන වැදගත්ම පාඩමයි.
පුද්ගලයන් වශයෙන් මෙන්ම රටක් ලෙසත්, අභියෝගාත්මක අවස්ථාවන් එළඹි විට අඳුරු වළාවක රිදී රේඛාවන් දකින්නා සේ ඒ අභියෝගවලට මුහුණ දී ජයග්‍රහණය මතින් පොදු යහපත උදාකර ගැනීමට අපි වෙර දැරිය යුතු වෙමු.
ආලෝකය වෙතට යන මාවත කොතරම් දුෂ්කර වුව ද ප්‍රේමයේ සහ කැපවීමේ ජීවිතයකින් ජයග්‍රහණය අත්කර ගත හැකි බව ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වා දෙයි.
සැබෑ ජනතා නායකයකු ලෙස එදා ජනතාව පීඩාවට පත් කළ සමාජ ක්‍රමය සහ සම්ප්‍රදායන් ප්‍රශ්න කරමින්, උන්වහන්සේ පෙන්වා දුන්නේ නව ජීවන මාර්ගයකි. එය තේරුම් ගත නොහැකි වූ ජනතාවම උන්වහන්සේ කුරුසියේ මරණය කරා ගෙන ගියහ. කුරුසියේ එල්ලී සිටිය දී පවා ‘පියාණනී මොවුන් කරන වරද නොදැන කරන සෙයින් මොවුන්ට සමාව දුන මැනවයි’ කියන්නට තරම් පිරිපුන් මානව ප්‍රේමයක් උන්වහන්සේ තුළ විය.
මෙබඳු ජීවන අරුත් රැසකින් පොහොසත් පාස්කු උත්සවය, ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතාදර්ශය තුළ සැබෑ ජීවිත වෙනසක් අත්දකිමින්, පුද්ගල යහපත සහ සමාජ යහපත සඳහා කැපවීමට ශක්තිමත් අත්වැලක් වේවායි ප්‍රාර්ථනය කරමි.