ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතට මාංචු

මැයි 29, 2019

    ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මාතර, හක්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් දස ලක්ෂ පනස් දහසක මුදලක් වංචාකළ කාන්තාවක ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීගොඩ, විහාර මාවත ප්‍රදේශයේ පදිංචි රාණි හේමන්ති නම් මෙම කාන්තාව 2019.05.16 දින අත්අඩංගුවට ගෙන හෝමාගම කම්කරු විනිශ්චය සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.05.30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    එසේම ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් වංචාකළ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි චමිලා චතුරංගනී ජයවර්ධන නම් කාන්තාවකද විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් තම සැමියා ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සදහා සැකකාරියට මුදල් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

    අදාළ සැකකාරිය 2019.05.16 දින බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ කම්කරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගෙන පැමිණිලිකරුවන්ගෙන් ලබාගත් මුදල් නැවත ලබාදෙන බවට පොරොන්දු වී තිබේ. ඒ හේතුවෙන් ඇය රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැර ඇති අතර වැඩිදුර නඩු විභාගය 2019 මැයි 31 දින පැවැත්වීමට නියමිතය.

    කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අල් අකීම් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ නම භාවිතා කරමින් බහරේනයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක් වංචාකළ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සරිප් මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙකුද කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අල් අකීම් ආයතනයේ ව්‍යාජ මුදල් කුවින්තාසිද යොදාගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර, සැකකරු 2019.05.16 දින අත්අඩංගුවට ගෙන බොරැල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Last modified on බදාදා, 29 මැයි 2019 07:57

    Latest News