බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදීමට රජයේ අවධානය; අගමැති

අගෝ 07, 2019

    බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවත් උපාධිධරීන්ට රැකියා ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය සහ රැකියා ලබානොදුන් ඉතිරි උපාධිධාරීන් වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය සහ බාහිර උපාධිධරීන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අග්‍රාමත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    උපාධිධරීන්ට රැකියා ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකනව. අදියර කීපයකින් පුහුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ පළමු අදියර ලෙස 2018 අගෝස්තු මස අභ්‍යාසලාභී උපාධිධාරීන් 5000ක් බඳවා ගැනීමට කටයුතු කළා.

    ඉන් 3200ක් රැකියා බාර ගන්න පැමිණියා. උපාධිධාරීන් 16800ක් සඳහා රැකියා සඳහා පත්වීම් ලබාදීමට හැකි වුණා. පත්වීම් ලබාදීමට ඉතා සාධාරණීය ක්‍රමවේදයක් අනුගමනය කළා.උපාධිය ගත් වර්ෂය සැලකිල්ලට ගෙන එම පත්වීම් ලබාදුන්නා.

    දැනට රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට පමණ රැකියා ලබා දී තිබෙනවා. රැකියා ලබාදුන් 16800න් කීයක් රැකියා බාර ගත්තා ද කියලා වාර්තා වී නෑ. එම පුරප්පාඩු සළකා පළමු වටයේ බාහිර උපාධිධරීන්ට ලබාදීලා, ඊළඟ වැඩපිළිවෙළ යටතේ බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න අප ක්‍රියා කරන්නේ.

    පළමුව කළේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර ශිෂ්‍යයන්ට. ඊට පස්සේ අප එනවා බාහිර ශිෂ්‍ය ශිෂ්‍යයන්ට. බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදීමට රජයේ අවධනය යොමු වී තිබෙනවා. අමාත්‍යාංශ සංස්ථා සමඟ කතා කරලා ප්‍රයෝජනවත් වැඩකොටසක් දෙන්නේ කියලා සාකච්ඡා කරනවා. අද විශාල වැඩකොටසක් කිසිම ආණ්ඩුවක් නොකළ විදියට බිම් මට්ටමින් සිදු වෙනවා. ඒ වැඩකොටස් කරන්න නිලධාරීන් වුවමනා වී තිබෙනවා. මේ සම්බන්ධව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කරන්නම් යැයි පැවසීය.

    එමෙන්ම රැකියා දස ලක්ෂයක් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා; දැනට විශාල සංඛ්‍යාවකට රැකියා ලබා දී තිබෙනවා. පෞද්ගලික අංශය කියන්නේ ඒ අයට ඇබෑර්තු තිබෙනවා, එම ඇබෑර්තු පුරවන්න කට්ටිය මදි කියලා. සමහර අංශවල, රැකියා අඩුවක් තිබෙනවා. විශාල සංඛ්‍යාවක් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වුණා. පාස්කු ප්‍රහාරය නිසා තාවකාලිකව ආදායම් අහිමි වෙලා. දෙසැම්බර් වන විට එය යථා තත්ත්වයට පත් වෙයි කියලා හිතනවා.

    Latest News