අත්දැකීම් බහුල ශ්‍රී ලංකාව හා නවක ඇෆ්ගනිස්ථානය අතර තරගය අද

ජූනි 04, 2019

    ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගය අද(04) පැවැත්වේ.

    එය තරගාවලියේ 7වන තරගය ලෙස ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3:00ට කාර්ඩිෆ් වේල්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකාව හා සහභාගීවන දෙවන තරගයි. මේ වන විට තරගාවලියේ කණ්ඩායම් අතුරින් 9 වන හා 10 ස්ථානවල දෙරට පසුවන අතර මීට පෙර දෙපිලම සහභාගීවූ පළමු තරග පරාජයට පත්ව තිබේ.

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියක එකිනෙකා මුණගැසෙන දෙවන අවස්ථාව මෙයයි. 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී දෙපිල අතර පැවති පළමු තරගයේ දී කඩුලූ 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

    නවක කණ්ඩායමක් වුවත් පසුගිය ලෝක කුසලානයෙන් පසු මේ වන විට ශ්‍රී ලංකාවට වඩා ජයග්‍රහණ ලබාගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්ව තිබේ. අත්දැකීම් අතින් ඉතා විශාල ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය ජයග්‍රහණය කිරීම හොඳ ආරම්භයක් වනු ඇති බව විස්තර විචාරයන්ගේ අදහසයි.

    විදෙස් විස්තර විචාරකයින් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් ලෙස ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් ලෙසද ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල ක්‍රිඩකයා ලෙස රෂිඩ් ඛාන් ද නම් කර තිබේ.

    මීට පෙර නවසීලන්ත තරගයෙන් ලද පරාජයෙන් පසු මානසික මට්ටම නැවත ජයග්‍රාහී මාවතට පිවිසීමට මෙම තරගයේ දී හැකි වනු ඇතැයි ක්‍රීඩාලෝලී සැමගේ බලපොරොත්තුවයි.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 14:56

    Latest News