ඒ අනුව අඹ, පැපොල්, කෙසෙල් සහ පේර යන පළතුරු වල පසු අස්වනු සැපයුම්දාමය වැඩිදියුණු කිරීම සඳහා දැනුම සහ උපකරණ පිරිනමමින් පළතුරු සැකසුම් කළාප දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවා ඇත. දැනට එම කළාප මඟින් උසස් තත්ත්වයේ පළතුරු වෙළෙඳපොළට සපයමින් පවතින අතර වෙළෙඳපොළ තුළ මෙම පළතුරු සුලභ කිරීම සදහා අලෙවි ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරිමට අපේක්ෂිතයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ විවිධ ආයතන ප්‍රධානීන් හා ගොවීන් අතර ගැටළු හඳුනාගෙන ඊට විසඳුම් දීමත්, උසස් තත්ත්වයේ පළතුරු ජනතාව අතරට ගෙන යාමට වැඩමුළුවක් ඊයේ (28) අනුරාධපුර ජාතික පසු අස්වනු කළමනාකරණ පුහුණු ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී.බී.දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්විය.
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී හා ව්‍යාපෘති කළමනාකරණ අංශයේ අංශ ප්‍රධානී ඩබ්ලිව්.එම්.සී.බී. වාසල මහතා “ අපේ ආයතනයේ මූලිකම අරමුණ වෙන්නේ කෘෂිබෝග වල සිදුවෙන පසු අස්වනු නාස්තිය අඩු කරන එක. මේකට ගොඩාක් කාරණා බලපානවා. එළවළු පළතුරු වල පසු අස්වනු නාස්තිය ගොඩාක් ඉහළ තත්ත්වයක පවතිනවා. 30%ක,40%ක වගේ ප්‍රමාණයක. එම තත්ත්වය අවම කිරීම සඳහා අපි මේ වන විට විවිධ ක්‍රියා මාර්ග අරන් තියෙනවා. විශේෂයෙන්ම ඇසුරුම් හඳුන්වා දීම සහ තාක්ෂණය හඳුන්වා දීම. මෙහිදී පළතුරු වල හානිය ගොඩාක් වැඩියි. ඒකෙදී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම වගා කරන මෙන්ම පරිභෝජනය කරන අඹ,ගස්ලබු,කෙසෙල් සහ පේර පළතුර වර්ග 04 හදුනාගෙන අපි ඒවායේ තියෙන පසු අස්වනු හානිය අවම කිරීමත්, පළතුරු ඉදවීමේ දී දැනට සමාජයේ ලොකු ගැටළුවක් වෙලා තියෙනවා පාරිභෝගිකයා මිළදී ගන්නකොට කියන දෙයක් තමයි මේවා හොඳ ඒවාද, බෙහෙත් ගහපුවාද, හොඳ පළතුරු ද කියන එක ගැටළුවක් තියෙනවා. ඒ හින්දා පළතුරු කෑමෙන් බොහෝ පිරිසක් ඉවත් වෙන ප්‍රවණතාවක් අපි පහු ගිය කාලේ කරපු නිරීක්ෂණයන්ගෙන් දැක්කා.
අපි මේ පළතුරු නිෂ්පාදනය කරන ප්‍රදේශ අනුව ඒවාට නමක් දීලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් රාජාංගනය බනානා හොඳ කෙසෙල්, එප්පාවල අඹ කියලා අපි වෙළෙඳ නාමයක් දීලා ඒක ස්ටිකරයකින් අපි හදුන්වා දෙන්නේ මේක විශේෂයෙන්ම ඇසුරුම් පෙට්ටියක තමා අපි වෙළෙඳපෛාළට නිකුත් කරන්නේ.
මෙහිදී මේ අඹ සෞඛ්‍යාරක්ෂිතව ඉදවූ අඹ. ඒ නිසා බය නැතුව පරිභෝජනය කරන්න. හඳුනා ගැනීමේ ලක්ෂණය තමා එප්පාවල මැංගෝ කියන මේ ස්ටිකර් එක.ඊට අමතරව අපි තඹුත්තේගම පපායා කියලා ගස්ලබු හඳුනා ගැනීමටත්, රාජාංගනය බනානා කියන නාමයත්, මහඉලුප්පල්ලම පේර යන නාමයෙනුත් අපි මේ පළතුරු වෙළෙඳපොළට හඳුන්වලා දෙන්නේ. මේවා හොඳ තත්ත්වයේ පළතුරු පාරිභෝගිකයාට හඳුනා ගැනීම සඳහා තමා මේ එක එක ප්‍රදේශය අනුව අපි මේ ස්ටිකර් කරලා වෙන් කරලා දීලා තියෙන්නේ. අනුරාධපුරේ පටන් ගත්තට අපි මේ වෙන විට ලංකාව පුරාම යාපනය සිට හම්බන්තොට දක්වා ඒ බෝග වගා කරන ප්‍රදේශ වල මේ වන විට එම ඒකක 235ක් අපි ස්ථාපිත කර තිබෙනවා. මේ තුළින් අපි පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක, සෞඛ්යාරක්ෂිත පළතුරක් ලබා දෙනවා වගේම ව්‍යාපාරයේ නියැලී සිටිනසියළුම පාර්ශ්වකරුවන්ට වැඩ ලාභයකට, සාමාන්‍යෙයන් හානිය අඩු වෙනවයි කියන්නේ ලාභය වැඩි වෙනවයි කියන එක. වැඩි ලාභයක් ලබා දිම සදහා අපි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබනවා යැයි පැවසීය.
පසුව එම පළතුරු සැකසුම් කළාප වල ගොවි මහතුන් විශාල පිරිසක් අප සමඟ අදහස් දැක්වීමට එක් වූ අතර එම ගොවීන් ප්‍රකාශ කළේ 2916 වර්ෂයේ දී එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටි ගරු දුමින්ද දිසානායක මහතාගේ සංකල්පයක් ලෙස පළතුරු සැකසුම් කළාප ඇති කළ බවත් මීට පෙර රජයකින් නොලැබුණු සහයෝගයක් මේ වන විට මෙම ගොවි මහතුන්ට ලැබෙන බවත්, ගොවි ගෙවිලියන් මහා පරිමාණයෙන් මෙම වගා කටයුතු කරමින් සෞඛ්‍යාරක්ෂිතව මෙන්ම උසස් තත්ත්වයෙන් යුත් පළතුරු වෙළෙඳපොළට නිකුත් කරන බවයි.මේ වන විට සෘජුවම ගොවියන්ගෙන් මෙම පළතුරු මිළදී ගැනීම සදහා විවිධ පෞද්ගලික ආයතන ගොවි බිම් වෙත පැමිණෙන බවත්, මැනිං මාකට්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මෙන්ම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත ද මෙම සෞඛ්‍යාරක්ෂිතව ඉදවූ පළතුරු මේ වන විට ප්‍රවාහනය කරන බවයි. මෙම ගොවීන්ට විටින් විට අවශ්‍ය නව තාක්ෂණික දැනුම මෙන්ම හානිය අවම කර ගැනීමේ පුහුණු වැඩසටහන්, උපකරණ හා අවශ්‍ය ශිල්පීය ඥාණය ලබා දීම සඳහා පසු අස්වනු තාක්ෂන අයාතනය මඟින් සිදු කරනු ලබන මෙහෙවර පිළිබඳ ගොවීන් සිය ප්‍රසාදය පළ කරන ලදී.