ජනපතිගෙන් දැරියකට අමතක නොවන සිහිවටනයක්

දෙසැ 18, 2018

    සෞන්දර්ය ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් අද (18) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටු කර දුන්නේය. 

    උසස් පෙළ විභාගය හදාරා සෞන්දර්ය විද්‍යාපීඨයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියටම යාම ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් සංගීතය තෝරාගත් ළහිරුණි සිය ප‍්‍රධාන වාදන භාණ්ඩය ලෙස සිතාරය තෝරා ගෙන ඇත. ආර්ථික අපහසුතා රැසක් මැද දිවි ගෙවන මෙම සිසුවියගේ දෙමාපියන්ට ඇයට එම වාදන භාණ්ඩය මිලදී ගෙන දීමට තරම් හැකියාවක් නොතිබීම හේතුවෙන් දැරිය දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියේය.

    ඉකුත් දෙසැම්බර් 08 වනදා ජනාධිපතිතුමා පොළොන්නරුව, ගණන්ගොල්ල ප‍්‍රදේශයට ගියේ තවත් එවැනිම සිසුවෙකු වූ ශාලික ලක්ෂාන් සිසුවාගේ නව නිවසක සිහිනය ඉටුකර දීමටයි.

    එම නිවසින් නික්ම යන ජනාධිපතිතුමා අසලට ප‍්‍රබෝධා ළහිරුණි දැරිය ද සමීප වූයේ කවදත් දැයේ දරුවන්ට ආදරණීය පියෙකු වූ ජනාධිපතිතුමා තම අහිංසක ඉල්ලීම ද ඉටුකර දෙන බවට ඇය තුළ වූ මහඟු විශ්වාසය නිසාමයි. සැබෑ පිය සෙනෙහසින් දැරියගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන බවට එහි දී දැරියට සහතික වුයේය.

    දින කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් දැරියගේ ඉල්ලීම ඉටුකරදීමට ජනාධිපතිතුමා කටයුතු කළ අතර, අද පෙරවරුවේ සිය දෙමාපියන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණි ප‍්‍රබෝධා ළහිරුණි සිතාරය ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේය.

    Latest News