ටිකිරි ඇතින්න සොයා අප රූපවාහිනි කණ්ඩායම, කෑගල්ල ප්‍රදේශයට පැමිණියා මේ, ඒ, ටිකිරි ඇතින්නගේ කතාවයි. ටිකිරි ඇතින්න පිළිබඳව අවධානය යොමු වූයේ විදෙස් සමාජ ජාල පිටුවක ඇයගේ ඡායාරූප සහිත තොරතුරු පළවීමත් සමඟයි. අනතුරුව, ටිකිරි ඇතින්න ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ පිහිටි විෂ්ණු දේවාල භූමියේ ඇද වැටී ඇති බවටත් වාර්තා පළ වුණා. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ටිකිරි ඇතින්න මියගිය බවටත්, තොරතුරු පළ කළා. පසුගිය දිනවල මේ ආකාරයට දැඩි කතාබහට ලක්වූ ටිකිරි ඇතින්න සොයා ගෙන අප රූපවාහිනී කණ්ඩායම, කෑගල්ලට ආවා.
මේ ටිකිරි ඇතින්නයි. ඇය, 70 වැනි වියේ පසුවෙතැයි, විශ්වාස කෙරෙන ටිකිරි, පුරා වසර 50ක් ශ්‍රී දළඳා පෙරහැරට සහබාගිවී තිබේ. ටිකිරිට දේශීය ප්‍රතිකාර සිදු කරන්නේ, හස්ති වෛද්‍ය ගාමිණි කරුණානායක මහතායි. ටිකිරිගේ හිමිකාරිත්වය දරන්නේ, තිලකරත්න මහතායි. ඔහු ඇයට දක්වන්නේ, අසීමිත ආදරයක්. ටිකිරිගේ නඩත්තුවට මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වෙතැයි ඔහු පවසයි. ටිකිරි පෙරහැරට සහභාගි කර වූයේ, සත්වයාට හංසනයක් කිරීමේ අරමුණින් නොව, ටිකිරිට වැළදී තිබූ රෝගී තත්වය සුව කරදෙන ලෙස ඉල්ලා තිබූ බාරයක් ඔප්පු කිරීම සඳහා බවයි ඔහු පවසන්නේ.
ශ්‍රී ලංකාවේ දැනට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 100කට ආසන්නයි. පෙරහැර සඳහා හීලෑ ඇලි ඇතුන් හිඟ බවටයි, පෙරහැර සංවිධායකයින් මැසිවිලි නඟන්නේ. පරිසරවේදීන්ගේ මතය වන්නේ, දැනට සිටින හීලෑ අලි ඇතුන් ඒ සඳහා ප්‍රමාණවත් බවටයි. මේ අතර, අලි-ඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් හඩ නැගීම පෙරහැර සමයට පමණක් සීමාවී ඇති බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි. එමෙන්ම, ඔහුගේ යෝජනාව වන්නේ, හීලෑ අලි-ඇතුන් වෛද්‍ය නිර්දේශය මත විශ්‍රාම ගැන්විය යුතු බවයි.
කෙසේ වෙතත් ටිකිරිත් සමඟ අපට සිතන්නට බොහෝ දේ පවතිනවා. මහාචාර්ය දංගොල්ල මහතා පවසන පරිදි, දැන් හෝ ඒ පිළිබඳ අවධානය යොමු කොට අලි-ඇතුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.