බරපතල සිදුවීම් වළක්වා ගැනීමට නව ව්‍යවස්ථා සංශෝධන දෙකක්; පා.ම. විජයදාස රාජපක්‍ෂ

ජන 01, 2020

    පසුගිය කාලයේ ඇති වූ බරපතල සිදුවීම් වළක්වා ගැනීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගෙන එන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ, 21 සහ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්. එමගින් ජාතික ආරක්‍ෂාව, ජාතීන් අතර සමගිය තහවුරු කිරීමට අපේක්‍ෂිතයි. අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.
    එහිදී අදහස් දැක්වූ විජයදාස රාජපක්‍ෂ මහතා....

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ කරුණු කිහිපයක් අඩංගු වෙලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය අන්සතු නොකළ යුතුයි. ජනාධිපතිවරයා ජාතික ආරක්‍ෂාව පිළිබඳව පූර්ණ වගකීම දැරිය යුතුයි. නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුස්මන්, විගණකාධිපති යන තනතුරුවලට සුදුසු අය පත්කිරීමේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවෙන් අදහස් විමසනවා වෙනුවට, අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසා එම පත්වීම් කළ යුතුයි කියන සංශෝධනය 22 වැනි සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය අවුරුදු 4 පුරාවටම ව්‍යවස්ථාදායක සභාව කිසිම අවස්ථාවක ස්වාධීනව කටයුතු කළේ නැහැ. ඉතාමත්ම පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කළා. ඒ පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි පාස්කු ප්‍රහාරය පවා අපට වළක්වාගන්න බැරි වුණේ. සුදුසු තැන්වලට සුදුසු අය පත්කිරීම වළක්වාලනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාව“ යැයි විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

    21වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇති බව රාජපක්‍ෂ මහතා පවසයි.

    Latest News