මැනිං වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරිමට අගමැතිගෙන් උපදෙස් (වීඩියෝ)

ජන 06, 2020
  • පෑලියගොඩ, මැනිං වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

    එය මේ වසරේ මැද භාගයේ ජනතා අයිතියට පත් කිරීමට අපේක්‍ෂිතයි. කොළඹ පිටකොටුවේ පිහිටි මත්ස්‍ය සහ එළවළු වෙළෙඳ පොළ පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2015ට පෙර පැවති ආණ්ඩුව තීරණය කළේය. එමෙන්ම කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානයේම පිහිටි ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් සහිත මේ භූමි ප්‍රදේශය අවිධිමත් අයුරින් පැවතීම නිසා දැඩි රථවාහන තදබයදක් තිබූ අතර, ඒ අවට ගැවසෙන ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට ද සිදුවිය. මෙම තත්වයන් මඟ හැරවීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය එවක ආරක්‍ෂක ලේකම් වත්මන් ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාවට නැංවිණ.

    දැනට පවතින මැනිං පොදු වෙළෙඳ පොළ ඉතා අපවිත්‍ර මෙන්ම අවිධිමත් හා පොදු පහසුකම්වලින් තොර ස්ථානයක්. වැසි දිනවල මඩ වගුරක් බවට පත්වන මේ පරිශ්‍රයේ විදුලි බලයේ අඩුලුහුඬුකම් හේතුවෙන් වෙළෙඳුන් මුහුණ දෙන දුෂ්කරතා ද බරපතල ගැටලුවක්. මීට සමාන තත්වයක පැවති මත්ස්‍ය වෙළෙඳ පොළ මීට පෙර පෑලියගොඩ පිහිටුවනු ලැබීය. එම සැලසුම්වලට අනුව 2016 වසරේ මැනිං වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කෙරිණ. අක්කර දෙකකට සීමා වී තිබූ එය පෑලියගොඩ ඉදි කෙරෙන්නේ, අක්කර 15ක භූමි භාගයකයි. වෙළෙඳ සැල් 1142ක්, පුළුල් රථගාලක්, සේවක විවේකාගාර ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතවේ. නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන් ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයයි.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 19:59

    Latest News