ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුව මාර්තු 10 යළි කැඳවයි

ජන 09, 2020

    හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව නැවත මාර්තු මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම චෝදනාවලින් ඉකුත්දා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව අධිකරණය විසින් නිදහස් කරනු ලැබීය.

    ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි සෙසු විත්තිකරුවන් හය දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    මෙහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය මාර්තු මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන බැවින් මෙම නඩුවේ විභාගය කල් දමන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා නැවත මාර්තු මස 10 වැනිදා එය නැවත කැදවන ලෙසයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 11:49

    Latest News