මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය දියුණු කිරීමට පියවර

ජන 10, 2020

    මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයෙහි (රන්මිණිතැන්න) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.

    චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිර්මාණකරුවන්ගේ ඉල්ලීම පරිදි පරිදි ඔවුන්ගේ නිර්මාණ අඩුවියදමින් සිදුකිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදීමේ අරමුණින් රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කළ බවත් මේ වන විට සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍ය කිහිපයක්ම එම භූමිය තුළ රූගත කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ජනතාව රූපවාහිනිය නාලිකා වැඩිපුර නරඹන හෙයින් ලංකාවේ සිනමා කර්මාන්තයේ යම්කිසි කඩා වැටීමක් දක්නට ලැබෙන බවත්, ඒ පිළිබඳව අධ්‍යයනය කර ඉන්දියාව වැනි චිත්‍රපට කර්මාන්තය ඉතාමත් ශක්තිමත්ව පවතින රටක් සම්බන්ධ කර ගනිමින් ලංකාවේ චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
    සංචාරකයින් මෙම භූමියට ආකර්ශනය කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් සතියකටවරක් සංස්කෘතික සංදර්ශනයක් මෙම භූමිය තුළ පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    කලාවෙන් පෝෂිත ජන සමාජයක් දැක්ම කර ගනිමින් 2010 මාර්තු 30 වැනි දින මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කරන ලදී. එහි විශාලත්වය අක්කර 235ක් වන අතර දේශීය සහ විදේශීය කලා නිර්මාණ සඳහා දර්ශන පසුතල ලබාදීමේ චිත්‍රාගාර පහසුකම් සැපයීම මෙමගින් සිදු කෙරේ.

    මේ වන විට කුස පබා, පත්තිනි, ශකී, ගින්නෙන් උපන් සීතල, ගෞතම ශ්‍රී සිද්ධාර්ථ, යශෝධරා සහ විජය බා කොල්ලය යන දේශීය චිත්‍රපට නිර්මාණයන් ද ඇන්ඩම් මෙන් (ජර්මන්), බොම්බේ වෙල්වට් (හින්දි) සහ සෝලර් එක්ලිප්ස් (පකිස්ථාන) යන විදේශ නිර්මාණයන් ද ස්වයංජත, කෝරලේ මහත්තයා, අමුතු මිනිස්සු, කීටයා, රණා හා සහේලි යන ටෙලි නිර්මාණයන් ද මෙම භූමිය තුළ රූගත කර තිබේ.

     

    2020 01 09 Ranmihithanna visit of Min.Lakshman Yaapa Abewardena 3

    2020 01 09 Ranmihithanna visit of Min.Lakshman Yaapa Abewardena 2

     

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 15:38

    Latest News