මුදල් ගෙවා ගුණාත්මත අධ්‍යාපනයක් ලබා ගැනීමේ පහසුකම් ද පුළුල් කළ යුතුයි - ජනපති

ජන 10, 2020

    රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යාවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සදහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකිය. උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයනමාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව ජනාධිපතිතුමා කියා සිටී.

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට අද (10) පස්වරුවේ එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

    විද්‍යාර්ථයින් එක් දහස් දෙසිය අසු දෙදෙනෙකුට උපාධි පිරිනැමිණ. දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරිහු 224 දෙනෙක් ඔවුන් අතර වෙති. ප්‍රථම උපාධිධාරින් ගණන 1057 කි. 2019 වසරේ විශිෂ්ට දක්ෂතා දැක්වූවන්ටතිළිණ පර දාදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 වසරේ දී අංක 61 දරණ පාර්ලිමේන්තු පණත මගින් උසස් දැනුමෙන් යුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් බිහි කිරීමේ අරමුණින් ඇරඹිණ. 2009 වර්ෂයේ දී එවකට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා මෙය පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත් කළේය. වෛද්‍යා පීඨය පිහිටුවීම, සාමාන්‍ය හා විදෙස් කැඩෙට් සිසුන් ඇතුලත් කර ගැනීම, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරම් සදහා පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා හදුන්වාදීම, දක්ෂිණ විශ්වවිද්‍යාලය සුරියවැව පිහිටුවීම මෙන්ම අති නවීන රෝහලක් ආරම්භ කිරීම ද මෙම කාලයේදී සිදු කෙරිණි.

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රට තුළ පමණක් නොව කලාපයටම ආදර්ශමත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
    නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ පරිවර්තනීය බලපෑමක් ඇති කර තිබේ. එය සෑමවිටම ආරක්ෂා කළයුතුය. පෞද්ගලික අධ්‍යාපනය සඳහා මූල්‍යමය ශක්තිය පවතින අයට විදෙස්ගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    රටේ අධ්‍යාපන පද්ධතියේ සැබෑ ශක්‍යතා විවර කර ගැනීමට අප තව බොහෝ දේ කළ යුතුය. වර්තමාන අධ්‍යාපන ක්‍රපමය විභාග ඉලක්කරගත් එකකි. එය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පටු වීමට හේතු වී ඇත. දැනුම, නිපුණතා සහ කුසලතා සැලකිල්ලට නොගෙන විභාග ප්‍රතිඵළ මත අනාගතය තීරණය කරනු ලැබේ. ඒ නිසා දෙමාපිය සහ සමාජ අසහනය වැඩි වී ඇත. දරුවන්ගේ ජිවිතයේ වඩා තීරණාත්මක අවධිවල පුද්ගල අභිවෘද්ධිය සදහා වන අවස්ථා රැසක් අහිමිව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    රටේ දරුවන්ට අධ්‍යාපනය තුළ අතරමංවිමට ඉඩ දිය නොහැක. රජය මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුය. විශ්ව විද්‍යාල සහ අනෙකුත් තෘතියීක අධ්‍යාපන ආයතන සදහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යව ඉහල නැංවීම ඉතා වැදගත්ය. රජයේ විශ්ව විද්‍යාවල යටිතල පහසුම් සංවර්ධනයට සහ මානව සම්පත් වර්ධනයට වැඩි වශයෙන් ආයෝජනය කළ යුතුය. එමෙන්ම විශ්ව විද්‍යාලවලින් පිරිනමනු ලබන උපාධි පාඨාමාල සිසුන් අපේක්ෂා කරන රැකියා අවස්ථා ළගා කර ගැනීමට උපකාර වන අන්දමින් නිර්මාණය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    21 වන සියවස දැනුමේ සියවසයි. කෘතීම බුද්ධිය, දත්ත, රොබෝ තාක්ෂණය, අන්තර්ජාලය සහ ජෛව තාක්ෂණය, ස්වයංක්‍රියකරණය වැනි තාක්ෂණික අංගයන් ඉදිරි දශක කිහිපය තුළ සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය ප්‍රතිනිර්මාණය කරනු ඇත. පර්වර්තනීය තාක්ෂණයන් විසින් ලබා දෙන අවස්ථා කල්තියාම හඳුනාගත යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධකයක් නොවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. රට තුළ ඉහල ගුණාතමකභාවයකින් යුත් තෘතියික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිය හැකි නම් බුද්ධි ගලනය වළක්වා ගත හැකිවනවා සේම අපගේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමින් රටින් පිටවිම අවම කර ගැනීමට උපකාරී වේ. වෘත්තීය අධ්‍යාපන ආයතනවල සහ කාර්මික විද්‍යාලවල ගුණාත්මකභාවය ගෝලීය ප්‍රමිතින්ට අනුකූලව වැඩිදියුණු කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    “සෞභාග්යයයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතියික අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍යා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම්සහගතව කටයුතුකරන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා සහාය වන ලෙස ද ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ කුලපති දයා සදගිරි මහතා අතුළු අධ්‍යන කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 20:58

    Latest News