MCC ගිවිසුම පිළිබඳව එ.ජා.ප. දෙබිඩි පිළිවෙත මෙරට දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රබල ප්‍රශ්නාර්ථයක් මතු කරන්නක්; අගමැති

ජන 19, 2020

    MCC ගිවිසුම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ දෙබිඩි පිළිවෙත මෙරට දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රබල ප්‍රශ්නාර්ථයක් මතු කරන්නක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එම ප්‍රකාශ අසා තමා මවිතයට පත්වූ බවයි. එක්සත් ජාතික පක්‍ෂයේ නව විපක්‍ෂ නායකවරයා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් MCC ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, ප්‍රසිද්ධ වේදිකාවල ද ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එම ගිවිසුම අත්සන් කිරීමට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවත්, එය ජනාධිපතිවරණය පෙර අත්සන් කරන බවටත් එවක අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට පැවසූ බව මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

    එවක විපක්‍ෂ නායකවරයා වශයෙන් තමා ඊට විරෝධය පළ කළ බව ඔහු කියා සිටී. ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී විදේශීය රටක් සමඟ ගිවිසුමක් කඩිමුඩියේ අත්සන් කිරීම සදාචාර නොවන බව ද තමන් ඔවුන්ට පවසා සිටි බව ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවේදනයේ සඳහන්. මෙම අවස්ථාවේ දී එජාපයේ නියෝජ්‍ය නායකයා හා ප්‍රධාන කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වූ වත්මන් විපක්‍ෂ නායකවරයා සිටියේ සම්පූර්ණයෙන් නිහඬවයි.

    එමෙන්ම ජනාධිපතිවරණ වේදිකාවේ එම ගිවිසුම ගැන වචනයක් හෝ ප්‍රකාශ කළේ නැහැ. ඔවුන් අත්තනෝමතිකව එය අත්සන් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට උපවාස කිරීමට සිදුවූ ආකාරය ද අග්‍රාමාත්‍යවරයා නිවේදනයෙන් පෙන්වා දෙයි. එමෙන්ම වත්මන් විපක්‍ෂ නායකවරයාගේ පාර්ශ්වයේ ප්‍රමුඛ නායකයෙකු වන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් වසන්කර කඩිමුඩියේ එය අත්සන් කිරීමට පක්‍ෂ වූ ආකාරය පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා, එම ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ කල්ලි දෙකම එකම ස්ථාවරයක සිටි බව අවධාරණය කරයි. එබැවින් MCC ගිවිසුම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය දරණ මෙම ස්ථාවරය කෙබඳු දැයි ජනතාවට පැහැදිලි විය යුතුය. එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් මණ්ඩලය අනුමත කළ එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව වාර්තා කිරීම සඳහා වත්මන් ජනාධිපතිතුමා විද්වත් කමිටුවක් ද පත්කොට ඇති බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් සඳහන් කරයි. එම වාර්තා සළකා බලා ඉදිරියේදී ගන්නා තීන්දු සම්බන්ධයෙන් මෙරට පාර්ලිමේන්තුවත්, ජනතාවත් දැනුවත් කිරීමට ඉතා විවෘතව කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එම නිවේදනයෙන් ප්‍රකාශ කර සිටී.

    Latest News