ත්රස්තවාදයට එරෙහිව ද්විපාර්ශ්වික සහයෝගිතාව නැංවීම කෙරෙහි දෙරටේ ආණ්ඩුවල මූලික අවධානයට ලක්වූ කරුණක්. මේ බව සඳහන් කෙරුණේ, ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවති සාකච්ජාවලදී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ඉන්දීය චාරිකාවේ දෙවැනි දිනයේ දී නිල රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ලැබීය. ඒ, නවදිල්ලි අගනුවර ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන්හිදී. එහි පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් හා මිත්‍රශීලි බවින් යුක්තව පිළිගනු ලැබුවේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින්. අනතුරුව, ඉන්දීය හමුදා උත්තමාචාරය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමිණ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් තම කැබිනට් සාමාජිකයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබුවේ ඉන් පසුවයි. ඉන්දු-ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර නිල සාකච්ජා පැවැත්වුණේ, නවදිල්ලි නුවර අගමැති නිල නිවස වන හයිද්‍රාබාද් මන්දිරයේදී. එහි පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් නැවතත් හරසරින් පිළිගනු ලැබීය. අගමැතිවරුන් අතර එහිදී දක්නට ලැබුණේ, ඉතා සුහද මිත්‍රශීලි හා හෘදයාංගම බවක්.
දෙරට අතර නිල සාකච්ජා ඇරඹුණේ ඉන් අනතුරුවයි. ප්‍රධාන මාතෘකා කිහිපයක් කෙරෙහි එහිදී අවධානය යොමු කෙරිණ. ත්‍රස්තවාදය පිටුදැකීම, ද්විපාර්ශ්වික වෙළෙඳාම නැංවීම හා ආයෝජන ප්‍රවර්ධනය ඉන් මුල් තැනක් ගනී. ද්විපාර්ශ්වික සාකච්ජාවලින් පසුව දෙරටේ අගමැතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර සාකච්ජාවක් ද අද නවද්ලිලියේදී සිදු කෙරිණ. එහිදී මුලික අවධානය යොමු වූයේ, ඉන්දීය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවයි. පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් නොකළ එවැනි ව්‍යාපෘති කිහිපයක් කඩිනම් කිරීමට ද දෙපාර්ශවය එකඟ වූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය චාරිකාවේ සුවිශේෂි අංගයක් වූයේ ඉන්දීය නිදහස් සටනේ පියා වූ මහත්මා ගාන්ධිතුමන්ගේ සමාධියට ගෞරව දැක්වීමයි. නවදිල්ලියේ ප්‍රභූ ස්මාරක පිහිටි රාජ්ඝාත්හි පිහිටි මහත්මා ගාන්ධි සමාධිය වෙත පැමිණි අගමැතිවරයා පූෂ්පෝපහාර දැක්විය. ස්මාරක සටහන් පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ තිළිණයක් ද පිරිනැමිණ.
මහින්ද රාජපක්ෂ අගැමතිතුමන්ගේ ඉන්දීය චාරිකාවේ විශේෂත්වය වන්නේ, ඉන්දියාවේ පාලක පක්ෂයේ මෙන්ම, විපක්ෂයේද නායකයන් සමඟ ඉතා සුහදව සබඳතා නැංවීමේ සාකච්ජා මාලාවයි. එතුළින් පිළිබිඹුවන්නේ, ශ්‍රී ලංකාවේ නව රජය කෙරෙහි ඉන්දීය පාලන තන්ත්රයේ ඉහළ සහයෝගිතාව හා සුහදතාවයි. අගමැතිතුමන් වෙත පළ කෙරුණු සුවිශේෂි පිළිගැනීම තුළින් එය මූර්තිමත් වන බව දෙස්-විදෙස් විචාරකයන්ගේ මතයයි.