දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස අද (23) ජනතා අයිතියට

පෙබ 23, 2020

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස අද (23) විවෘත කෙරිණ.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සිට හම්බන්තොට දක්වා දුර කිලෝ මීටර 222ක්. එම දුර ගමන් කිරීමට ගතවන කාලය පැය තුන හමාරක්. මාතර සිට හම්බන්තොට දක්වා කොටසේ දුර කිලෝ මීටර 96ක්. එහි ඉදිකිරීම් අදියර 4කින් සිදු කෙරිණ. එහි තුන්වන හා හතරවැනි අදියර මීට පෙර විවෘත කෙරුණේ ඉදිකිරීම් අවසන් නොකර තිබියදී. එහෙත්, අද මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමේ පහසුව පවතිනවා. මාතර සිට හම්බන්තොට දක්වා කොටස් අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 8කින් සමන්විතයි. ගොඩගම-පාලටුව, අපරැක්ක, බෙලිඅත්ත, කසාගල,අඟුණකොළපැලැස්ස, වැටිය, සුරියවැව, අන්දරවැව එම හුවමාරු මධ්‍යස්ථානයි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, හම්බන්තොට වරාය හා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ සමඟ සම්බන්ධ කිරීමයි. එමගින් ඉහළ ආර්ථික හා සාමාජිය සංවර්ධනයක් අපේක්‍ෂිතයි. සංචාරක කර්මාන්තය ඉන් ප්‍රධානයි.

    Way px 900 23 02 20

    සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට අධිවේගී මාර්ගය ඔස්සේ කෙටි වේලාවකින් ගමන් කළ හැකියි. චීනරජයේ අරමුදල් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් බිලියන 225ක්. නිල්වලා ගංතීරයේ පිහිටි තෙත්බිම් ආරක්‍ෂා කර ගැනීම හා ගංවතුර පාලනය වෙනුවෙන් කණුමත දිවෙන පාලම්, යටි බිම්ගෙවල්, ගුවන් පාලම් රැසකින් මාර්ගය සමන්විතයි. පරිසරය හා වන සතුන් රැක ගැනීම සඳහා මුල් තැනක් දී තිබේ. මාර්ගය ඉදිකිරීම නිසා දන්දෙණිය වන රක්‍ෂිතයට වූ හානිය වෙනුවෙන් එක්  ගසක් වෙනුවෙන් ගස් සියයක් සිටුවීමට පියවර ගෙන ඇත.

    Open px 900 23 02 23

    අධිවේගී මාර්ග විවෘත කිරීමේ උත්සවය අද පැවැත්වුණේ ගොඩගම-පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී. ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයුආන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ටිකට් පතක් ලබාගත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හම්බන්තොට දක්වා මාර්ගයේ ගමන් ආරම්භ කළේය. එහිදී හමුවන අපරැක්ක, බෙලිඅත්ත, කසාගල, අඟුණකොළපැලැස්ස යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආරාධිතයින් විසින් විවෘත කළේය. එහිදී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. අනතුරුව ඔවුන් ප්‍රධාන ජනහමුව පැවැත්වෙන බරවාකුඹුක අන්තර් හුවමාරු මධ්‍යස්ථානය වෙත ළඟාවූහ.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 18:57

    Latest News