වායු ගෝලයේ සුළං අඩුවීම නිසා අධික රස්නය තවදුරටත්

පෙබ 27, 2020

    මේ දිනවල සිරුරට දැනෙන රස්නය හෙට දිනයේදීත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    පෙබරවාරි අග කාලගුණික තත්වය අන්තර් මෝසම් තත්වයට පරිවර්තනය වනු ඇත. එහිදී, මෙම අධික රස්නය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ පවතින වියළි කාලගුණ තත්වය සහ අධික උණුසුම අප්‍රේල් අග දක්වා පවතිනු ඇත. හෙට දිනයේ ද උණුසුම් කාලගුණ තත්වයක් පැවතීම, මිනිස් සිරුරට බලපෑමක් විය හැකි බව, කාලගුණ විද්‍යාඥයින් පවසයි.

    වායු ගෝලයේ පවතින සුළං මට්ටමේ අඩුවීම නිසා උණුසුම් කාලගුණික තත්වයක් ඇතිව තිබේ. උණුසුම් සහිත කාලගුණ තත්වය හෙට වයඹ සහ බස්නාහිර පළාත්වලටත්, මන්නාරම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් වැඩි වශයෙන් බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    We px 900 27 02 20

    අව් රශ්මියට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන්, තෙහෙට්ටු ගතියක් ඇතිවිය හැකිය. ශරීරයේ විජලන තත්වයක් ඇතිවීම හා ලවන ඉවත්වීම නිසා මස් පිඬු පෙරළීම් ද ඇතිවිය හැකියි. අධික උෂ්ණත්වය නිසා ඇතිවන මහන්සිය මෙන්ම, ආඝාත වැනි තත්වයන් ද ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ ජනතාව අවධානය යොමු කළ යුතුය. වැඩිපුර ජලය පානය කිරීම සහ හැකිතාක් සෙවණ ඇති ස්ථානවල ගැවසීම තුළින් මිනිස් සිරුරට වන බලපෑම් අවම කරගත හැක. වැඩිහිටියන් සහ රෝගීන් පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා යාම නොකළ යුතු අතර, පාසල් ක්‍රීඩා උත්සවවලදී සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කළ යුතුය.

    ඊයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය වාර්තා වුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. එය සෙල්සියස් අංශක 36.7ක් ලෙස සටහන් විය. පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ වෙහෙස දැනෙන ක්‍රියාකාරකම්වලින් සහ වෙහෙස මහන්සි වී සිදු කරන කටයුතු අවම කළ යුතුය. සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කිරීමෙන් මේ පවතින උෂ්ණත්වයෙන් යම්තාක් දුරට ආරක්‍ෂා විය හැකිය.

    Latest News