රාජිතට ඇප දීමේ නියෝග බල රහිත කරන්නැයි නීතිපතිගේ පෙත්සම 10 විභාගයට

මාර් 05, 2020

    සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය ලබන 10 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා අද දින අසනීප තත්වයෙන් පසුවන හෙයින් මෙම නඩුවේ විවාදය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය මේ මස 10 වැනිදා දක්වා කල් දමන බව නියෝග කළේය.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම ප්‍රතිශෝධන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිදු ආකාරයකින් සැලකිල්ලට භාජනය නොකළ බවයි.

    එමෙන්ම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතු වලට සිදුවන හානිය පිළිබඳව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු බැහැර කොට මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇතැයි ද නීතිපතිවරයා සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

    මෙම නියෝගය තුළින් නීතිය බරපතල ලෙස අප ගමනකට ලක්වීමට ඉඩකඩ නිර්මාණය වී ඇති හෙයින් එම ඇප නියෝගය බල රහිත කර සැකකාර හිටපු මාධ්‍ය රාජිත සේනාරත්න මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 11:17

    Latest News