එ.ජා.ප.යෙන් විශේෂ වැඩපිළිවෙළක්

දෙසැ 15, 2018

    ජනතාවගේ ජීවන තත්වය නැංවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නව රජය යටතේ ජනතාවට සහන රැසක් ලබාදීමට පියවර ගන්නා බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය. 

    සජිත් ප්‍රේමදාස මහතා...“අපි රටේ අයිතිකාරයෝ නොවෙයි. තාවකාලික බාරකරු. තාවකාලික බාරකාරත්වයන් ලබන වසරේ වෙනස් වෙන්න පුලුවන්. ජනාධිපතිවරණය හරහා. 2020 වෙනස් වෙන්න පුලුවන් මහ මැතිවරණය හරහා. ඒ නිසා අපි මේ ඉන්නේ තාවකාලික තනතුරේ. ජනතාව තාවකාලිකව, ව්‍යවස්ථානූකුලව, නිත්‍යානුකූලව අපිට ලබාදුන්න ඒ බාරය පණටත් වැඩිය රැකගෙන අඹමල් රේනුවකින්වත් පළුදු කරන්නේ නැතුව, අපි බලාපොරොත්තු වෙනවා විශිෂ්ට රජයක් හැටියට, ආදර්ශමත් ආණ්ඩුවක් හැටියට, අපි කරපු හොඳ දේවල් තවදුරටත් ශක්තිමත් කරගෙන, අපෙන් යම් අඩු-පාඩුකම් සිදුවුනානම්, සිදුවුණ අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගෙන, ඒවා මඟහරවා ගෙන , නිවැරදි ගමනක් රට, දැය, දේශය පුරවැසි පරපුර වෙනුවෙන් එය ඉෂ්ඨ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

    අපි සැදී-පැහැදී සිටිනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ අත්වැල් බැඳගෙන රාජ්‍ය නායකයා හැටියට එතුමාගෙන් අදහස්-උදහස් ලබාගෙන ශක්තිමත් රජයක් හැටියට මේ රට ගොඩ නඟන්නට, මේ රට සංවර්ධනය කරන්නට, මේ රටේ ජනතාව ජීවත් කරවන්නට, ඒ අයගේ ජන ජිවිතය සුඛිත-මුදිත කරන්නට ඒ අයව සෞභාග්‍යකරා ගෙන යන්නට අපි අතිගරු ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගන්නා බවට මම බොහොම වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    පා.ම. නලින් බණ්ඩාර...“වෘත්තියක් ඉස්සරහට ආවා, සිවිල් සමාජ ඉස්සරහට ආවා, කලාකරුවන්, ක්‍රීඩකයින් ඉස්සරහට ආවා. අපි ඒ අයගෙන් ඉතාම ආදරයෙන් ආයාචනය කරලා ඉන්නවා ඒගොල්ලො ඉන්න තැනිනුත් ඉස්සරහට ඇවිල්ලා මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ආණ්ඩුව ඉස්සරහට අරන් යන්න, රට ඉස්සරහට අරන් යන්න ඒගොල්ලන්ගේ සක්‍රීය දායකත්වය දෙන්න කියලා. මෝඩයින්ට පිස්සු කරන්න පුලුවන්, බුද්ධිමතුන් කටවහගෙන ඉන්න කම්. බුද්ධිමතුන් ඉස්සරහට ඇවිල්ලා කතා කරනකොට, ක්‍රියාත්මක වෙනකොට, මෝඩයින්ට සිද්ධ වෙනවා කටවහගෙන පැත්තකට වෙලා ඉන්න.

    ඒ නිසා මේ ජාතිවාදය කරපින්නාගෙන යන එහෙම නැත්නම් මේ ජාත්‍යන්තරයේ හැමදාම අධිරාජ්‍යවාදය යන වචන කිය කිය ඉන්න හාදයෝ හැමදාම වීරයෝ වෙනවා. විදේශ රටවල් සම්බන්ධතාව නැතුව අපිට විතරක් නොවෙයි වෙන රටකටවත් යන්න බැහැ. චීනය ගන්න අමෙරිකාව ගන්න ඒ ගොල්ලන්ට පුලුවන් ද වෙන රටවල් සමඟ සම්බන්ධතා පවත්වන්නේ නැතුව යන්න බැහැ. බොරුවට නරි වාදන් දොඩන්න පුලුවන් හැබැයි රටක් කරද්දී මේ හැම රටක් එක්කම සම්බන්ධතා ඇති කරගෙන යන්න ඕනේ. හොඳ වැඩපිළිවෙළක් එක්ක අපි ඉදිරි කාලයේ දී අපි ආණ්ඩුව කරනවා. මැතිවරණවලට බය නැහැ. මේ මැතිවරණනේ ඉස්සරහට දාන්නේ ඒගොල්ලන් කියන්නේ අපි මැතිවරණවලට බයයි කියලා. මැතිවරණවලට බය නොවෙයි ව්‍යවස්ථාවට ලැබුණු ගරුත්වය, මේ අධිකරණ පද්ධතියේ ස්වාධීනභාවය, මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට විරුද්ධව තමයි මේ රතිඤ්ඤා දැම්මේ මිනිස්සු. දැන් ඡන්දයකට යනවනම් අපි බොහොම සතුටුයි.

    අපි දන්නවා දැන් ඡන්දය තිබ්බොත් මොකක්ද ලැබෙන ප්‍රතිඵලය කියලා. දැන් තියන්න පුලුවන් ඡන්දය මොකක්ද ජනවාරි 08 වැනිදායින් පස්සේ ජනාධිපතිවරණය තියන්න පුලුවන්. මේ රටේම සමස්ත ජනමත විචාරණයක් විධියට ජනාධිපතිවරණය තියන්න පුලුවන්. අපිට පුලුවන් ඒ සඳහා සූදානම් වෙන්න. ව්‍යවස්ථාවට අනුව තව අවුරුදු එකහමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. හැබැයි අපිට දැන් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් හදලා ටික කාලෙකින් යම් එකඟතාවකට එන්න පුලුවන් නම් සියලු දෙනාටම තුනෙන් දෙකක බහුතරයක් පෙන්වලා පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන්න අපි සූදානම්. මම නම් මගේ පෞද්ගලික මතය අපට තව මාස කිහිපයකින් ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් එකට ගන්න පුලුවන්නම් තුනෙන් දෙකේ අනුමැතිය අරන් ඒක තමයි හොඳම දේ යැයි නලින් බණ්ඩාර මහතා පැවසීය

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 15 දෙසැම්බර් 2018 21:10

    Latest News