මොනව හේතුවක් නිසාවත් රජය අකර්මන්‍ය වන්නට ඉඩ හරින්නේ නැහැ; ජනපති

මාර් 18, 2020

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර රැසක් රජය මේ වනවිටත් ගෙන ඇති බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    වෛරසය හමුවේ රට ආපස්සට ඇඳ වැටීමට කිසිසේත් ඉඩ නොතබන බව ඊයේ රාත්‍රී ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේ දී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා.....

    “මොනව හේතුවක් නිසාවත් රජය අකර්මන්‍ය වන්නට ඉඩ හරින්නට බැහැ. අප දුර දිග නොබලා කටයුතු කළොත් සාමාන්‍ය ජන ජිවිතය සම්පුර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියා කළ යුත්තේ ආත්ම විශ්වාසයනේ යුක්තවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුය. අපි මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුළුවීම හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩ කඩ අවම කිරීමයි“ යැයි ජනාධිපතිතුමා පැවසීය.

    නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමට සහ ආසාදිතයින් නිරෝධායන ක්‍රියාවලියට ලක්කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිළි කළේය. පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා නිවාඩු ලබාදීම, රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය සේවකයන්ට දින 03ක නිවාඩුවක් ලබාදීම සහ පෞද්ගලික අංශයට ද තම සේවකයන් වෙත එම අවස්ථාව සලසා දෙන ලෙස දැනුම් දී තිබේ.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා අනෙකුත් අන්තර්ජාතික ගුවන් තොටුපල ඔස්සේ පැමිණෙන ගුවන් මගීන් සති දෙකක කාලයක් මෙරටට ඇතුළු කර නොගැනීමට පියවර ගැනීම ගෙන ඇති තවත් ක්‍රියාමාර්ගයක්. බාහිර සහ ආයතන පරිශ්‍රයන්හි විෂබීජානුහරණය කිරීමේ පහසුකම් ආරම්භ කෙරුණු අතර බස් රථ, දුම්රිය ආදී පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව ද එය ක්‍රියාත්මකයි.

    නිරෝධායන මධ්‍යස්ථාන 17ක නිරෝධායන ක්‍රියාවලියට ලක්කර ඇති පිරිස 2,287ක්. තවත් 3,000කට අධික පිරිසක් නිවාසවලදී නිරෝධායනය කෙරේ. එම නිවාස නිරෝධායනය දැන්වීමක් මගින් දැනුම්දීමට හා රෝගය පිළිබඳව දුරකතන රිගිංටෝන් මගින් ද ජනතාව දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. රෝගය පිළිබඳ විමසීමට සහ දැනුම්දීම සඳහා ක්‍ෂණික දුරකතන අංක ද හඳුන්වා දී තිබේ.

    සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආයෝජනයන් බිඳ වැටුණු ආයතනවල ණය මාස 06කට කපා හැරීම සළසා ඇති තවත් සහනයක්. රෝහල් 18ක් සහ අළුතින්ම වැලිකන්ද මූලික රෝහල ප්‍රතිකාර සඳහා සැකසීමට ද පියවර ගෙන තිබේ. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර, එහි නායකත්වය යුද හමුදාපති තුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පවරා තිබෙන බව ද ජනාධිපතිතුමා ජාතිය අමතා කළ කතාවේදී සඳහන් කළේය.

    Latest News