“කොවිඩ් 19“ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රු. ලක්‍ෂ 25ක්.

මාර් 26, 2020

    “කොරෝනා වෛරසය“ ව්‍යාප්තිය පිටුදැකීම සඳහා ජනාධිපතිතුමා විසින් පිහිටුවනු ලැබූ කොවිඩ් නයින්ටීන් සඳහා වන සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් ලක්‍ෂ 25ක් පරිත්‍යාග කළේය.

    සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත පසුගියදා එම මුදල භාරදෙනු ලැබීය. මෙම හදිසි තත්වය හමුවේ ආපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන සැලසීම සම්බන්ධයෙන් මෙවැනි අරමුදලක් පිහිටුවීම ඉතා කාලෝචිත බව එම සංගමය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ මෙම වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ගෙනයන වැඩපිළිවෙළ ද මෙම සංගමයේ ප්‍රසාදයට ලක්විය. ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන බව එම සංගමය ප්‍රකාශ කළේය.

    ප්‍රාදේශීය වශයෙන් වූ ජනතාව අවශ්‍යතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සංගමය මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ජා කර තිබේ. ඒ අනුව එම අවශ්‍යතා වෙනුවෙන් දායකත්වය ලබාදීම සඳහා මෙම සංගමයේ සියලුම සාමාජිකයන්ගේ දායකත්වයෙන් අරමුදලක් ද පිහිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කර තිබේ. එම අරමුදල මගින් ජනතාව වෙත අත්‍යවශ්‍ය සහන සැලසීම සඳහා කොළඹ, කළුතර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත රුපියල් හත්ලක්‍ෂ පනස් දහසක් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

    Latest News