නිරෝධායන ක්‍රියාවලිය දිවයිනේ නොකඩවා ක්‍රියාත්මකයි

අප්‍රේ 01, 2020

    නිරෝධායන ක්‍රියාවලිය දිවයිනේ විවිධ ප්‍රදේශවල නොකඩවා ක්‍රියාත්මකයි.

    නිරෝධායනයට ලක් කිරීම තුළින් “කොවිඩ් 19“ වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම අරමුණයි. දියතලාව යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් දස දෙනෙකු අද (01) නිවෙස් වෙත පියව ගියේය. ඊට මහනුවර ප්‍රදේශවාසියෙකු, කොළඹ 09 දෙනෙකු ඇතුලත්. තවත් 60 දෙනෙකු දියතලාව මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියට එක්ව සිටී.

    හැටන් නගරයේ ව්‍යාපාරිකයන් 08ක් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඊයේ රාත්‍රී පියවර ගත්තේය.

    විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි කළුතර, වස්කඩුව සහ පොතුපිටිය ප්‍රදේශවල පුද්ගලයින් නිරෝධායන කාලය අවසන් කිරීමේ සහතිකපත් ලබාදීම ඊයේ සිදු කෙරිණ. පෘතුගාලයේ සිට පැමිණි යුවලක් ද දින 14ක නිරෝධායන කාලසීමාව අවසන් කිරීමේ සහතික පත ලබාගත්තේය.

    අක්මීමන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සංචාරකයින් 06 දෙනෙකුට සහ නවසීලන්තයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් පැමිණි ශිෂ්‍යාවක් වෙත ද නිරෝධායන කාලසීමාව අවසන් කළ සහතික පත පිරිනැමිණ.

    හැටන්, දික්ඔය දරවලවත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200ක් පමණ ඊයේ සිට දින 14ක ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ. හැටන්, දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයක යාඥාවක් සඳහා පැමිණි දේවගැතිවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවීම සහ පසුගිය දිනවල ඇඟලුම් කර්මාන්තශාලාවල සිට වතුකරයට විශාල පිරිසක් පැමිණිමත් මීට හේතුව බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසයි. එම ප්‍රදේශයේ දැඩි පොලිස් මාර්ග බාධක යොදමින් දැඩි ආරක්‍ෂාවක් ද යොදවා තිබේ.

    අම්බලන්ගොඩ ප්‍රදේශයේ විදෙස් රටවල සිට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වූ තවත් පිරිසකට සහතික පත් පිරිනැමීම ද ඊයේ සිදු කෙරිණ.

    Latest News