COVID-19 වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 174 දක්වා ඉහළට (වීඩියෝ)

අප්‍රේ 05, 2020
  • COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 174 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස් වෙත පිටව ගිය පිරිස 279ක්. අද දිනයේ නිරෝධායනයට යොමු කළ පිරිස 378ක් ලෙස සැලකේ.

    අද දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 5ක්. සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 29ක්. මෙරටින් “කොවිඩ් 19“ මරණ 5ක් වාර්තා වේ. රෝගය වැළඳුණු බවට තහවුරු වූ 137 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහලේ. කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 259 දෙනෙකු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්‍ෂණ සිදු කෙරේ. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

    නිරෝධායන කාලසීමාව අවසන් කළ 3169 දෙනෙකු මේ වනවිට සිය නිවෙස් බලා පිටව ගොස් තිබේ. දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 40ක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්, නාවික හමුදාව නිරෝධායන මධ්‍යස්ථානයක් සහ යුද හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන 37ක් පවත්වාගෙන යයි. අදත් 279 දෙනෙකු නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස් බලා පිටව ගියේය. ඒ යාපනය සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි පුද්ගලයින්. කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 46 දෙනෙකු නිවෙස් බලා පිටව ගියේය.
    ඔවුන් දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණි පුද්ගලයින්. අනෙක් පිරිස යාපනය නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි පුද්ගලයින්.
    පසුගිය තුන්වැනිදා පන්නිපිටිය ප්‍රදේශයෙන් ද කොවිඩ් දහනවය රෝගියෙකු සොයා ගැණින. ඔහු සමීපව ඇසුරු කළ 45 දනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගත් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
    අත්තිඩිය ප්‍රදේශයේ අඹුසැමි යුවළක් අසනීප තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කෙරිණ. ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක මතුවූ බැවින් හෝමාගම මූලික රෝහලට මාරු කර තිබේ. එහිදී සිදු කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවයි. ඇගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී නොමැති බවට සිදු කළ පරීක්‍ෂණවලින් තහවුරු වුවත්, තවදුරටත් සැකපිට එම රෝහලේම රඳවා සිටී. කෙසේ වෙතත්, ඔවුන් වාසය කළ අත්තිඩිය ශ්‍රී ජන මාවත ප්‍රදේශයට ඇතුළුවන සියළුම ස්ථාන තාවකාලිකව වසා දමා තිබේ. එම ප්‍රදේශයේ සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තාවේ.

    බේරුවල පන්නිල සහ චීන කොටුව ප්‍රදේශවලින් පසුගියදා කොවිඩ් 19 රෝගීන් කිහිප දෙනෙකු සොයා ගැණින. කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් සහ කුඩා දරුවන් කිහිප දෙනෙකුගේ සාම්පල අද ලබා ගැණින. ඒ, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා මර්දන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය එක්වයි. එම සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කෙරිණ.
    මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් ඊයේ බිළිඳෙකු බිහි කළාය. ඒ, කළුතර නාගොඩ මහ රෝහලේදී. මේ වනවිට එම කාන්තාව සහ අලුත උපන් බිළිඳා මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ බිළිඳාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

    මතුගම නවුත්තුඩුව ප්‍රදේශයෙන් ඊයේ කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමුවිය. ඔහු ළඟින් ඇසුරු කළ 8 දෙනෙකු අද පොලොන්නරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. ඒ යුද හමුදාවේ සහය ඇතිව.

    බණ්ඩාරගම අටළුගම පසුගිය 27 වැනිදා සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කළ අතර, එය තවදුරටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ආහාරපාන සෞඛ්‍යාරක්‍ෂිතව ලබාදෙන ආකාරය දක්නට ලැබිණ.

    කොවිඩ් 19 රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ ඇතුළුවීම හා පිටවීම සීමා කෙරුණු මහනුවර අකුරණ ප්‍රදේශයේ එම සීමාවන් තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මකයි. ස්වයං නිරෝධායනයට නිසියාකාරව යොමු නොවූ එම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. මේ අතර, අකුරණ නගරය සහ අවට ප්‍රදේශ ඊයේ විෂබීජානුහරණය කෙරිණ.

    Latest News