විදෙස් රටවල සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම පිළිබඳ ක්‍රමවේදයක්

අප්‍රේ 26, 2020

    ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනිමට අදියරෙන් අදියර කටයුතු කරන බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ප්‍රථමයෙන් සාක් කලාපීය රටවලින් ද පසුව අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගැනීම සිදු කෙරේ.

    ඉන්දියාවේ මුම්බායි නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 166 දෙනෙකු 25 වැනිදාත්, සිසුන් 122ක් අද (26) යළි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් දිවයිනට ගෙන්වා ගනු ලැබිණ.

    මෙරටට පාලනය කර ගත හැකි ප්‍රමාණයක් පමණක් ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර ඉදිරි සතිය තුළත් විවිධ රටවලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන්වා ගන්නා බවත් ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථාන සූදානම් කර ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    මේ අතර විදේශ රටවල සිටින ලාංකිකයින් විසි හත්දහසක් පමණ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

    මැදපෙරදිග කලාපයේ රැකියා අහිමි වී යම් යම් ගැටලු ඇති වී තිබෙන පිරිස් මෙරටට ගෙන ඒම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බව අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේය.

    හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ, මෙරටට නොඑන පිරිසට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වන විට සිදු කරමින් සිටින බවයි.

    Latest News