හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට - විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

අප්‍රේ 27, 2020

    හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර ඇත.

    ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

    ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

    “ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි.

    රෝගීන් රෝහලටත් ඔවුන් සමඟ සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි.

    ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

    ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ඒ මහතා විශේෂඥ කණ්ඩායමට පැවසීය.

    නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වයදිය යුතු බවත් කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද ඒ මහතා උපදෙස් දුන්නේය.

    Latest News