කොවිඩ්-19 වැළඳුණු නාවික සෙබළුන්ගෙන් 12 කට සම්පූර්ණ සුවය

මැයි 06, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු නාවික හමුදා සෙබළුන්ගෙන් අද වනවිට දොළොස් දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව පවසයි.

    මේ අතර, කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වූ රෝගීන් අතරින් තිදෙනෙකුට රෝගය ආසාදනය වී නොමැති බවට, පර්යේෂණ වාර්තා ලැබී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඊයේ කොවිඩ්-19 රෝගය වැළඳුනු තවත් පුද්ගලයින් 20 දෙනෙකු හඳුනා ගැණින. ඔවුන්ගෙන් 15 දෙනෙකු ආරක්‍ෂක අංශ සාමාජිකයන්. තවත් අයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැණින. කොළොන්නාව, මෝදර, රාජගිරිය යන ප්‍රදේශවලින් එක් රෝගියෙකු බැගින් වාර්තා විය.

    කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 03ක්. ඔවුන් සියලු දෙනාම ආරක්‍ෂක අංශ සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඊයේ දිනය තුළ ද වාර්තා ගත පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති අතර එම සංඛ්‍යාව 1,491ක්.

    කොවිඩ්-19 රෝගය නිසා සිදුවූ මෙරට 09 වැනි මරණය ඊයේ වාර්තා විය. ඇය ජීවත් වූ මෝදර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ එක් කොටසක් මේ වනවිට හුදෙකලා කොට තිබේ. එහෙත්, එම නිවාස සංකීර්ණයේ සියලු මහල් නිවාසවල වෙසෙන ජනතාවට එම භුමියෙන් පිටතට යාම හෝ කිසිදු බාහිර පුද්ගලයෙකුට ඇතුලුවීම සම්පූර්ණයෙන් තහනම්. ඔවුන්ගෙන් තෝරාගත් 75 දෙනෙක් පී සී ආර් පරීක්‍ෂණය සඳහා යොමු කෙරිණ.

    සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් 27 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගියේය. ඔවුන් කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීමත් සමඟ එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින්. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නිරෝධායනයෙන් මුදා හැරිණ.

    කොවිඩ්-19 රෝගය පාලනයට හා මැඩ පැවැත්වීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ වෛරසය පාලනයට හා ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට පියවර ගත යුතු බව කොවිඩ්-19 රෝගය මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අදහස් කරයි. එහි රැස්වීමක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණ.

    පුත්තලම ප්‍රදේශයේ මාස දෙකකට අධික කාලයක් නිවෙස් වෙත යාමට නොහැකිව රැඳී සිටි පුද්ගලයින් පිරිසක් අද සිය නිවෙස්වලට පැමිණියේය. ඔවුන් මඩකලපුව, සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන්. එම පුද්ගලයන් සේවය කළේ, පුත්තලම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක.

    එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට මෙරට සිසුන් ඇතුළු පිරිසක් රැගත් ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද අළුයම පැමිණියේය. එහි පැමිණි පිරිස 194ක්. ඔවුන්ගෙන් 56ක පිරිසක් දියගම මොරටුව විශ්වවිද්‍යාල තාක්‍ෂණ පීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයටත්, අනෙක් පිරිස සංචාරක හෝටල කිහිපයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතත් යොමු කරනු ලැබීය. ඔවුන් පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන්. මේ අතර සිංගප්පුරුවේ සිට තවත් 180ක පිරිසක් රැගත් ගුවන් යානයක් අද සවස මෙරටට පැමිණියේය.

    කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම හා ත්‍රිපෝෂ බෙදාදීම යළි ආරම්භ කෙරිණ. දිවයිනේ ළමා වෛද්‍ය සායන බොහොමයක අද එන්නත් ලබාදීම සිදු කෙරුණු බව අප වාර්තාකරුවන් කියා සිටියේය. අලුත උපන් බිළිඳුන් බැලීමට ඥාතීන්ට හා හිතවතුන්ට අවස්ථාව නොදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා සංගමය මව්වරුන්ට දැනුම් දෙයි. මව්වරුන් සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පැළඳ සිටිය යුතු බව එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.

    Latest News