ලොව පුරා සැදැහැවතුන් සම්බුදු තෙමඟුල අද නිවෙස්වල සමරයි

මැයි 07, 2020

    සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

    ලොව පුරා සැදැහැවතුන් සම්බුදු තෙමඟුල සමරමින් අද නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරතවේ. මෙවර වෙසක් උත්සවයේ තේමාව “ආරෝග්‍ය පරමා ලාභා“ යන්නයි.

    බුදුවරයෙකු ලොව පහළවීම කල්ප ගණනාවකින් සිදුවන දුර්ලභ හා උත්තරීතර සිද්ධියක් බව, බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි. කිඹුල්වත්පුර ලුම්බිණි සල් උයනේදී වෙසක් පොහෝ දින උත්පත්තිය ලැබූ සිදුහත් කුමරු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුයේ ද අද වැනි දිනකයි.

    උන්වහන්සේ මිනිස් වර්ගයාට ජිවිතාවබෝධය ලබාදී නිර්වාණ මාර්ගය පෙන්වා දී තිබේ. බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, ශාක්‍යයන්ගේ මානය බිඳලීමට යමාමහ පෙළහර පෑම, තෙවැනි ලංකා ගමනය හා සමනොළ ගිරි සිරස මත සිරිපා සළකුණ සටහන් කිරීම වෙසෙක් පොහොය දින හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් කිහිපයක්. පන්සාළිස්වසක් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පරිනිර්වාණයට පත් වූයේ ද අද වැනි පොහෝ දිනකයි. බුදු දහමින් පෝෂණය වූ ලක්වැසියන් අතීත රජ දවසේ සිට ශ්‍රද්ධා පෙරදැරිව වෛශාක්‍ය මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරයි.

    පඤ්ඤාසම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 197 වැනි ධර්ම දේශනය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන්. මෙවර ධර්ම දේශනය පවත්වනු ලැබුවේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පුරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් විසින්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කළ “සද්ධර්ම වර්ෂා“ පොහොය වැඩසටහන අද දවස පුරා පැවැත්වුණේ ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ දී. ඔලබොඩුව රාජමහා විහාරාධිපති තලගල ව්පස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. දාන, ශීල, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුලත් විය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News