වංචා දූෂණ - මනුෂ්‍ය ඝාතන විභාගයට විශේෂ අධිකරණ අවශ්‍යයි - රාජිත

දෙසැ 24, 2018

    වංචා දුෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබද දිනපතා නඩු විභාග කිරීම සදහා ස්ථාපිත කිරීමට යෝජිත ඉතිරි විශේෂිත මහාධිකරණ 02 ක ද කඩිනමින් ස්ථාපිත කරන ලෙස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අධිකරණ ඇමතිනියගෙන් ඉල්ලා සිටි.

    එක්සත් ජාතික පක්ෂ මීගමු අසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා - “රාජපක්ෂලා දේශප්‍රේමීන් යැයි කියනවා. මනුෂ්‍ය ජිවිත ගැන නොබලා සල්ලි ගැන විතරයි බැලුවේ. එම නිසා මුදලට වහල් වී වංචා, දුෂණ සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදු කළා. ඒ පිළිබද පරික්ෂණ අපි ආරම්භ කළ විට බයට තමයි ඊනියා ආණ්ඩුව බිහි කර ගත්තේ. මහින්ද රාජපක්ෂ මහතා මහරජා කියලා කිවුවා. නමුත් යුවරජෙක් බවටත් පත් වුනා. ඒ අපරාධ වලින් බේරීමටයි. නමුත් අපි ඒ පිළිබද පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනවා. රාජපක්ෂලාගේ හොරකම් සෙව්වේ නැහැ කියලා අපට චෝදනා කරනවා. අපි හොයන්න පටන්ගත්තා. නමුත් අපේ රජයේ ඇතැම් අය ඩීල් දැම්මා. අපට බැන්නා. සතුරාව පෝෂණය කරමින් අපි හැදෙන්න හැදුවා. නමුත් එහෙම කරන්න බැහැ. අධිකරණය සහ පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා.”

    මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරනය ගැනත් අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා මෙහිදි අදහස් පල කලේය. රජය නව ඇරඹුමකින් ජනතා සුබ සිද්ධිය උදේසා ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    තවදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා “නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්. ජනතා සහන වැඩපිළිවෙළක් අපි දියත් කර තිබෙනවා. එක් ආසනයකට රැකියා 1000 ක් ලබාදීමට සැළසුම් කර තිබෙනවා. ස්වයං රැකියා ආධාරත් ලබාදෙනවා. ජනතාව ශක්තිමත් කිරිම අපගේ අරමුණයි. රජය විශාල වැඩ කොටසක් සිදු කළත් ප්‍රචාරයක් ලැබුණේ නැහැ. මාධ්‍ය ඒ ගැන ලිපි පළ කළේ නැහැ. ජනතා ප්‍රශ්න විසදීමට අපි කටයුතු කරනවා. සෑම ඝණ වළාකුලකම රිදී රේඛාවක් තිබෙනවා. වසර 2020 දී පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කරමින් වසර 2025 වන වන තෙක් අපි රට පාලනය කරනවා” යැයි ද ඔහු කියා සිටියේය.

    Latest News